මහා මාර්ග හා මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විනිසුරුවරුන්  සම්බන්ධයෙන් කළ ප්‍රකාශය හිතාමතාම කළ එකක් බවත් ඔහු විසින්ම එය පස් වතාවක් තහවුරු කර ඇති බවත් රාමනායක මහතාට එරෙහිව අධිකරණ අපහාස නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය
හමුවේ ඊයේ (16) කැඳවූ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය.

රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති පළමුවැනි අධිකරණය අපහාස නඩුව සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (16) සලකා බැලිණ. මෙම අධිකරණ අපහාස නඩුවට නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා එහිදී සිය වාචික දේශන පවත්වමින් වැඩිදුරටත් මෙසේද කීය.

විත්තිකරු තමන් කී ප්‍රකාශය වරින් වර පස්වරක් තහවුරු කර තිබේ. මෙම නඩුව අවසන් වී යන හැම විටම උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරියේදී මාධ්‍ය සාකච්ඡා පහක් පැවැත්විණි. ඒ හැම මාධ්‍ය සාකච්ඡාවකදීම විත්තිකරු එවැනි ප්‍රකාශයක් කර ඇති බව පවසා ඇත. එහෙත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සාක්කි දෙමින් කියා ඇත්තේ තමන් අතින් අත්වැරැද්දක් සිදුවූ බවය.

විත්තිකරුට එරෙහිව චෝදනා පත්‍රය බාරදුන් දිනයේ පවා තමා කියූ ප්‍රකාශය තහවුරු කරන බව ඔහු මාධ්‍යයට පවසා ඇත. ඔහුගේ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බව ඔහු යළි යළිත් තහවුරු කර තිබේ.

විත්තිකරුගේ ප්‍රකාශය හේතුවෙන් රටේ ජනතාවත් මාධ්‍යයත් විනිසුරුවරුන්ට එරෙහිවීමක් සිදුවිය. ඒ වගේම ජනතා අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණවලට හානි සිදුවිය. ජනතාවගේ ස්වෛරීභාවයට හානි සිදුවිය. විත්තිකරුට මෙම නඩුවේ සාක්කිදීමට පෙර විවිධ විද්වත් පාර්ශ්වයන්ගෙන් අවවාද අනුශාසනා ලැබිණි.

මීට පෙර අධිකරණ අපහාසයට දඬුවම් ලැබූ එස්.බී. දිසානායක මහතා විත්තිකරුට කියා ඇත්තේ නඩුවෙන් නිදහස් වීමට ක්‍රිකට් විනිසුරුවන් යනුවෙන් පවසන ලෙසය. අධිකරණ අපහාසය සුවිශේෂ කරුණක්. මේ පිළිබඳවත් පූර්වාච නඩු ගණනාවක් තිබේ. හේවාමාන්නට එදිරිව නීතිපති, ධර්මවිජය තිලකරත්තට එදිරිව නීතිපති ඉන් කිහිපයකි.

විශ්‍රාමලත් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා මෙම චෝදනා පත්‍රය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කළේය.
රන්ජන් රාමනායක මහතාට එරෙහි අධිකරණ අපහාස නඩුව සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රයේ මෙසේ සඳහන් වේ.

විත්තිකරු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරමින් 2017 අගෝස්තු 21 වැනි දින අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී මාධ්‍ය වෙත දුන් ප්‍රකාශයක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නුගේගොඩ, ගංගොඩවිල, වලව්වත්ත පාරේ, අංක 43/11 දරණ ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා නමැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල 2017 නොවැම්බර් 21 සහ දෙසැම්බර් 14 යන දිනයන්හි අධිකරණය හමුවේ කැඳවා ඊට අදාළව එම්.ටී.වී චැනල් පෞද්ගලික සමාගම කැඳවා අදාළ වීඩියෝ පට විත්තිකරු හමුවේ අදාළ ප්‍රකාශ පෙන්වා ඇත.

ඒ අනුව ඒ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ මතය වී ඇත්තේ පැමිණිලිකාර පාර්ශවයේ ප්‍රකාශ අදාළ වීඩියෝ පටයේ සඳහන් වන බවය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 යන වගන්තිය යටතේ විත්තිකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

මෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කොට විත්තිකරුට දඬුවම් නොකිරීමට හේතු දක්වන ලෙසට නියෝග
කරමින් මෙම ආඥාව නිකුත් කරමි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා රන්ජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා වන චෝදනා ආඥා කෙටුම්පතක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියමය අනුව නීතිපතිවරයා මෙම කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී.

ඒ අනුව විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් කියවා බාර දෙන ලදී. පෙත්සම්ප්‍රකාර සුනිල් පෙරේරා මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකචිඡාවකින් අනතුරුව පිටතට පැමිණි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයන් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටි බවය.

මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය බිඳවැටෙන බවත් ඒ හරහා රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් පෙත්සම්කරු කියා සිටී.

මේ හේතුවෙන් රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබදව විභාගයක් පවත්වා සුදුසු දඩුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණ.

රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා ද, නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්ත මහතා ද පෙනී සිටියහ. වැඩිදුර විභාගය අගෝස්තු 24 දිනට කල් තැබිණි.

- රංජන් කටුගම්පොළ -