කෝවිඩ් 19 වෛරස ව්‍යාප්තිය නැවත රට තුළ ඉස්මතු වෙතැයි සමාජය තුළ මතුව ඇති බිය හා සැක සංකා හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය තුළ මේ දිනවල අධික තදබදයක් නිර්මාණය වී තිබේ.
ඒ අනුව දිනකට පුද්ගලයන් 1300කට පමණක් සේවා සැපයීමට හැකි එම කාර්යාලයට ගතවූ දින පමණක් පුද්ගලයන් 3000  -  3500කට ආසන්න පිරිසක් පැමිණ තිබේ.

මෙලෙස මහජනතාව ඒකරාශී වීමෙන් නිර්මාණය වී ඇති අනපේක්ෂිත තදබදය සම්බන්ධයෙන් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති අතර, ඒ අනුව පහත සඳහන් උපදෙස් අනුගමනය කරන මෙන් අමාත්‍යාංශය සේවාලාභී මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ වනවිටත් 2020 අංක 3රණ මෝටර් වාහන නියෝග මඟින් 2020.03.16 සිට 020.06.30 දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියැදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය අවසන් වන දිනයේ සිට මාස 06ක අමතර සහන කාලයක් සහ 2020.07.01 සිට 2020.09.30 දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියැදුරු බලපත්‍ර සඳහා රියදුරු බලපත්‍රය අවසන් වන දින සිට මාස 03ක සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇත.

මීට අමතරව අවශ්‍යතාව පරිදි තවදුරටත් මෙම කාලය දීර්ඝ කළ යුතු බව නිරීක්ෂණය වුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නියමිතය.

රියැදුරු බලපත්‍ර එක්දින සේවාව යටතේ ලබාගැනීමේ පහසුකම් වේරහැර කාර්යාලයට අමතරව හම්බන්තොට හා අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල මගින්ද සලසා ඇති බැවින්, සේවාලාභීන්ගේ පහසුව පරිදි එම ස්ථාන වෙත යොමු වීමේ හැකියාවද පවතී.

සාමාන්‍ය සේවාව මඟින් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අනෙකුත් සෑම දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයක් හරහාම අවස්ථාව හා පහසුකම් සලසා තිබේ.

මීට අමතරව වාහන හිමිකම් පැවරීම සාමාන්‍ය සේවය යටතේ සිදු කර ගැනීම සඳහා තමන්ට ආසන්න දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පහසුකම් සලසා ඇති බැවින් එක්දින සේවා පැවරුම් සඳහා පමණක් නොරාහේන්පිට ප්‍රධාන කාර්යාලය වෙත යොමු විය හැකිය.

කෝවිඩ් 19 වසංගත තත්ත්වය රට තුළ නැවත හිස එසවීමේ අවදානමක් පවතින බැවින් රජයේ කාර්යාල වෙත පැමිණෙන සේවාලාභීන් සමාජ දුරස්ථභාවය ඇතුළු අනෙකුත් සෞඛ්‍යමය උපදෙස් තරයේ අනුගමනය කළ යුතු වන අතර, පවත්නා තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතුය.

- නිදර්ශනී වික්‍රමසිංහ -