ළමයින් තුළ නව කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය පිළිබඳ අවබෝධය තවමත් සීමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වෛරස ප්‍රතිචාරයේ තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් පවසයි.
ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවරදී පසුගිය සඳුදා (13දා) පැවති මාධ්‍ය හමුවේදී කෙර්කොව් මෙම අනාවරණය කළාය.

"දරුවන්ට වෛරසයෙන් අඩු බලපෑමක් ඇති බව පෙනෙනවා. නමුත් ඔවුන්ට ආසාදනය වීමට පුළුවන්. එය අවධානයට ගැනීම වැදගත්” වැන් කෙර්කොව් පැවසීය. "ළමයින් තුළ සම්ප්‍රේෂණය පිළිබඳ අපගේ අවබෝධය තවමත් සීමිතයි.”

එහිදී කුඩා ළමයින් අතර මෙම වෙරසය ඉතා අඩු මට්ටමින් පැතිර ඇති බව පෙන්වා දෙන වැන් කෙර්කොව්, වයස අවුරුදු 10 සහ ඊට වැඩි ළමයින්ට තරුණ වැඩිහිටියන්ට සමාන ව්‍යාප්තියක් ඇති බව පෙනෙන බවද සඳහන් කළාය.‍

කෙසේ වෙතත් COVID-19 ආසාදනය වීමෙන් දරුවන්ට දරුණු රෝගී තත්ත්වයන් මෙන්ම, දරුවන් මියගිය අවස්ථා පිළිබඳව තොරතුරු පවතින බවද ඇය කියා සිටියාය.

"ඔවුන්ට ආසාදනය විය හැකියි. අප මුල සිටම පැවසූ ආකාරයට ඔවුන්ට වඩා මෘදු රෝගී තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතිනවා. සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් ගත්විට, ළමයින් තුළ සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් අප තවමත් තේරුම් ගත යුතු දෑ බොහෝයි." වැන් කෙර්කොව් පැවසීය.

පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, පාසල් සුරක්ෂිතව පවත්වාගෙන යාම පිළිබඳව පාසල්වලට ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවයි. කෙසේ වෙතත් පාසල් නැවත විවෘත කළ යුත්තේ කවදාද යන්න පිළිබඳව සලකා බැලිය යුතු බවත්, ඒ සඳහා කරුණු ගණනාවක් සලකා බැලිය යුතු බවත් වැන් කෙර්කොව් කියා සිටියාය.

ප්‍රාදේශීය වශයෙන් ඇතිවූ සම්ප්‍රේෂණ හා ඒ ඒ සමාජ ව්‍යුහයන් මෙන්ම, අත් සේදීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම සහ මුඛ ආවරණ පැලඳීම ආදිය මීට ඇතුළත් වන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

- නරේන් විශ්වජිත්-