ටාර්හි සේවය කළ ශ්‍රී ලාංකිකයකු විසින්ම ඝාතනය කළ බව කියන එකම පවුල් තිදෙනකුගේ සිරුරු ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (7) රැගෙන විත් තිබුණි.
මොවුන් කැලණිය, බියගම පාරේ, පන්සල අසල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා සහ දියණිය බව
තොරතුරු වාර්තා වේ.
කටාර් දෝහා සිට ඊයේ අලුයම 1.48ට කටුනායකට පැමිණ QR 668 දරන ගුවන් යානයෙන් මෙම මළ සිරුරු රැගෙන ආ අතර වාර්තාවූ ආකාරයට තිදෙනා දරුණු අයුරින් කපා කොටා පසුව ගෙල සිඳ මරා දමා ඇති බව මෙම මළ සිරුරු සමග තිබූ පරීක්ෂණ ලිපි ලේඛනවලින් අනාවරණය කර තිබුණි.
එරටදී සිදු වූ කිසියම් සිද්ධියක් මත එම ශ්‍රී ලාංකිකයකු විසින් මොවුන් සාතනය කර ඇති බව ද කියැවුණි. මෙසේ මරා දමා ඇති පවුලේ පියාගේ වයස අවුරුදු 59කි. මවගේ වයස අවුරුදු 55ක් වන අතර දුවගේ වයස අවුරුදු 34කි. මෙම මළ සිරුරු 03 පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීම සඳහා මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබේ.

එකම පවුලේ තිදෙනාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු සැක කරන බවට ඝාතනයට ලක්වූගේ පවුලේ සාමාජිකාවක් ප්‍රකාශ කරයි.
අදාළ ඝාතන සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පවුලේ දියණියක වන වත්තල, කදාන නිරෝෂිණී ලොගීදාසන් (36) මහත්මිය පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය නැගණියගේ පෙම්වතාව සිටි පුද්ගලයා සැක කරන බවයි.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දැක් වූ නිරෝෂනී ලොගිදාසනි මහත්මිය මෙසේද පවසා සිටියාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයා මාගේ සොහොයුරියගේ පෙම්වතා ලෙස  කාලයක් සිටියා. මොහු ටැක්සි රියදුරෙක් ලෙස සේවය කළ අයෙක්. මොහු මාගේ සොහොයුරිය විවාහ කරගැනීමට අපේක්ෂාවෙන් සිටියත්, මතුවු සැකයක් නිසා ඔහු පිළිබඳ සොයා බැලීමේදී ඔහු ලංකාවේ විවාහ ගිවිසගෙන සිටි අයෙක් බව හෙළිවුණා.
එමෙන්ම ඔහුට දරුවන්ද සිටි බවට දැනගන්නට ලැබුණු නිසා මගේ දෙමාපියන් ඊට අකමැත්ත ප්‍රකාශ කර, ඔහුට ප්‍රේම සම්බන්ධයට සහ විවාහයට අවසර දීමට නොහැකි බව දන්වා සිටියා.

ඊට උරණ වූ මෙම පුද්ගලයා මාගේ සොහොයුරිය  සමග ආරවුලක් ඇති කරගත් බව දැනගන්නට ලැබුණා. මාගේ පියා, මව සහ නැගණිය තියුණු ආයුධයකින් ගෙල කපා බරපතළ තුවාල කර මියගොස් සිට දින කිහිපයකට පසු තමයි දැනගන්නට ලැබුණේ ඔවුන් ඝාතනයට ලක්ව ඇති බව.
මාගේ පියා 2002 වර්ෂයේ කටාර්හි මාර්ග සංවර්ධන ආයතනයක ෆෝමන්වරයෙකු ලෙස සේවයට ගොස් සිටියා. ඔහු 2015 වසරේදී නැවත ලංකාවට පැමිණ මාගේ මව සහ නැගණිය සමග
නැවත විදේශගතවූවා. මව සහ නැගණිය එම රටෙහිම සුළු රැකියාවක නිරතව සිටියා. මගේ දෙමාපියන්ට කිසිදු ආරවුලක් ඒ රටේ තිබුණේ නෑ. මේ සම්බන්ධයෙන් ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ පවුලේ සාමාජිකයන්ට වුණ දේ සොයා වැරදිකරුවන්ට දඬුවම් කරන්න කියලයි"

මේ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්  කළ විමසීමකදී එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පවසා සිටියේ මෙම ඝාතනවලට හේතුව මෙතෙක් නිශ්චිතව ම අනාවරණය වී නොමැති බවයි. මේ වනවිට ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම මෙම ඝාතන පසුගිය මාර්තු මාසයේ සිදු වූ බවට තොරතුරු වාර්තා වී ඇතැයිද රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

අදාළ ගුවන් යානයෙන් මෙම මළසිරුරු තුන සමග සෞදි අරාබියේදී මියගිය තවත් පුද්ගලයන් සිවුදෙනෙකුගේ මළසිරුද කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර, එහි එක් අයෙකු සියදිවි නසාගෙන ඇති බවත්, අනෙක් තිදෙනා හදයාබාධ හේතුවෙන් මියගොස් ඇති බවට වාර්තා වන බවත් මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට ඝාතනයට ලක්වූ මළසිරුරු 03 පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිර්මට බලය තිබෙනවාද යන්න පිළිබඳ මේ වන විට සොයා බලන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය ස්නාරත්න මහතා  සඳහන් කළේය.
අදාළ මළසිරුරු පිළිබඳ මීගමුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත ඉදිරි කටයුතු සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

නවෝද්‍යා පවනි/ කටුනායක-ටී.කේ.ජී.කපිල/ ජාඇල- ප්‍රසාද් මුතුකුඩ