කොළඹ ගාලු මුවදොරදී Anastasia April නම් රුසියානු කතකට අසභ්‍ය වදන් කියමින් හිරිහැර කරන ශ්‍රී ලාංකික තරුණයෙකුගේ වීඩියෝවක් එම තරුණිය විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කර සිටියේ පසුගියදාය.
ඉරිදා රාත්‍රී 11 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත්තේ රුසියානු කාන්තාව සහ ඇගේ ශ්‍රී ලාංකික පෙම්වතා ඇතුළු මිතුරන් පිරිසක් ගාලු මුවදොර වෙත ගිය අවස්ථාවේදීය.
ඇය තමා හිංසනයට ලක්වීමේ සිදුවීම
පොලිසියටද පැමිණිලි කළ අතර එය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු  අත්අඩංගුවට පත් විය.
සැකකරුවන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ය.ඒ අනුව සැකකරුවන් ඊයේ (ජූලි 07) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. සැකකරුවන් පස් දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා  නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන සැකකරුවන් පස් දෙනෙකි.
අදාල වීඩියෝව සමඟින් එම සිද්ධිය පැහැඳිළි කරමින් ඇය තැබූ සටහන පහතින්.

“ශ්‍රී ලංකාව කාන්තාවන්ට ආරක්ෂිත රටක් ද?

අවම තරමින් තම මිතුරු මිතුරියන් සමග මෙහි ආරක්ෂිතව කාලය ගත කිරීමේ හැකියාව විදේශීය තරුණියකට තිබෙනවාද?

2020.07.05 වැනි ඉරිදා, එනම් ඊයේ සවස මාගේ මිතුරන් තිදෙනෙකු සමග අප ගාලුමුවදොරට ගියේ ඇවිදින්නට ය. එහිදී බීමත් ව සිටින බව පැහැදිලිවම දක්නට ලැබුණු එක්තරා තරුණයෙකු විසින් මට හිරිහැර කරන්නටත් අපහාස කරන්නටත් වුණා. ‘මගේ පස්සා පැත්තෙන් කොටසක්’ ඔහුට වුවමනා වුණා. මා සමග සිටි මිතුරන්ට ඔහු කියා සිටියේ ‘සහෝදරයා, අපි ඇයව බෙදාගනිමු’ කියායි. මුලදී අප ඊට ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. නමුත් ඔහුත්, ඔහු සමග සිටි මිතුරන් 10 දෙනෙකු පමණ සංඛ්‍යාවකුත් අප පිටුපසින් ගමන් කරන්නට වුණා. මගේ මිතුරා මා ආරක්ෂා කරගන්නට උත්සාහ කරමින්, ඔහුට නවතින්නැයි කී විට, පෙර කී තරුණයා, මගේ මිතුරාට පහර දුන්නා.

අප සියලුදෙනාම එම තරුණයාට කතා කරන්නට උත්සාහ කළ අතර, මගේ මිතුරා ඔහුව සන්සුන් කරන්නට තැත් කළා. ඒ අවස්ථාවේ දී පෙර කී තරුණයා සමග සිටි අය අතුරෙන් සතරදෙනෙකු මගේ මිතුරාට පහර දුන්නා. එම පහරදීම ගැනත්, ඔවුන් සියලුදෙනා අප වටකරගත් ආකාරය ගැනත් අප පුදුමයට පත්වුණා. අපට පහරදෙන්නන් ඈත් කරන්නට අප උත්සාහ ගත්තා. නමුත් මෙය ජංගම දුරකථනයෙන් පටිගත කරන්නට මා සැරසෙනවාත් සමග ම ඔවුන් තත්ත්වය ක්‍රමයෙන් සන්සුන් කරන්නට කටයුතු කළා. කෙසේ වෙතත්, පෙර කී තරුණයා මගේ එම ක්‍රියාව ද නොතකා හරිමින්, ජංගම දුරකථනය මගේ අතින් වැටෙන ලෙස මගේ අතට පහර දී තවදුරටත් මගේ මිතුරාට පහරදීම සිදුකළා. මගේ මුහුණට පවා පහරදීමට ඔවුන් මැළි නොවනු ඇතැයි එම අවස්ථාවේ මට තේරුම් ගියා.

මගේ ජංගම දුරකථනය මගින් පටිගත කිරීමට මා උත්සාහ ගත් නිසා, කලහ කරගැනීම නතර කළේ ඔවුන් අතරින් කිහිපදෙනෙකු පමණයි. මෙම සිදුවීම බොහෝ දෙනා (ඒ දෙස බලා සිටිනු හැරෙන්නට එය නතර කරවීමට ඉදිරිපත් නොවූ) ගැවසුණු පොදු ස්ථානයක සිදුවුණත්, මෙවැනි තත්ත්වයකදී ඔබ බේරාගැනීමට කිසිවෙකු හෝ ඉදිරිපත් වන්නේ නැහැ.

මේ සමග ඇති තිර ඡායාරූපයේ (screenshot) සිටින්නේ මෙම ගැටුම ආරම්භ කළ තරුණයායි. මා පටිගත කළ විඩියෝවේ ආරම්භයේත් අවසානයේත් ඔහුගේ මුහුණ ඔබට දැකගත හැකියි. මගේ ජංගම දුරකථනය ඔහුගේ පහරින් බිම වැටුණු පසු, ඔබට කිසිවක් දැකගත නොහැකියි, නමුත් සිද්ධිය ඔබට ඇසෙනු ඇත. තත්ත්වය තේරුම් ගැනීමට ඔබට එය ප්‍රමාණවත් වේවි.

සිදුවීම අතරවාරයේ අප විසින් පොලිසිය ඇමතූ අතර, ඔවුන් එතැනට පැමිණියේ විනාඩි 20කට පමණ පසුව ය. ඒ වනවිට එම තරුණ පිරිස එතැනින් ඉවත්ව ගොස් හමාර ය. පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අප කටයුතු කළ අතර, මෙම තරුණයා සොයාගැනීමට අපට ඔබගේ සහය අවශ්‍ය වී තිබේ. මෙවැනි නොමනා හැසිරීම් වලට එරෙහිව නැගී සිටින්නට එක්වෙමු!

මෙම පෝස්ට් එක ‍‍ෂෙයා කර, ඔබ දන්නා කවුරුන් හෝ මෙම විඩියෝ පටයේ සිටියි නම්, අපට දැන්වීමට කාරුණික වන්න.”