ප්‍රාදේශීය සභාවල ලේකම් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් පත්කිරීමට ඉකුත් යහපාලන ආණ්ඩුව ගෙන ඇති කැබිනට් තීන්දුව අවලංගු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ප්‍රාදේශීය සභාවල ලේකම් තනතුර මෙතෙක් කළමනාකරණ සේවාවේ අධි පන්තියේ නිලධාරීන් විසින් හෙබවූ අතර, ඔවුන්ට වසර ගණනාවක අත්දැකීම් හා පළපුරුද්ද තිබෙන බව ද සමස්ත ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමයේ ලේකම් ලලිත් ධර්මසේන මහතා කීය.

ඉකුත් යහපාලන ආණ්ඩුව ප්‍රාදේශීය සභා ඒ, බී සහ සී ලෙස වර්ග කළ නමුත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි තීන්දුවක් බව ද පැවසු ලේකම්වරයා, ඒ අතරින් "ඒ" ශ්‍රේණියට අයත් ප්‍රාදේශීය සභා 41ක සහ 'බි" ශ්‍රේණියට අයත් ප්‍රාදේශීය සභා 108ක ලේකම් තනතුරු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන්ට පැවරීමට යහපාලන ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බව ද එම තීරණය අහෝසි කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

කළමනාකරණ සේවයේ වසර ගණනාවක පළපුරුද, දැනුම හා උපාධිය ආදී සුදුසුකම් සහිතව සීමිත තරඟ විභාගයකට මුහුණදී අධිශ්‍රේණියට පත්වන නිලධාරීන් ප්‍රාදේශීය සභාපති, ලේකම් තනතුරින් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේම නිලධාරීන් 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඉහත තනතුරු ඔවුන්ගේම සේවාවට ලබාගැනීම සඳහා යෝජනා කිරීම හාස්‍යජනක බව ද ලලිත් ධර්මසේන මහතා කීවේය.

මේ අතර ප්‍රාදේශීය සභා ලේකම් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නවක නිලධාරීන් පත්කිරීමට යහපාලන ආණ්ඩුව අනුමත කර ගත් කැබිනට් පත්‍රිකාව එම ආණ්ඩුවම පසුව අවලංගු කිරීමට උත්සාහ ගත්තද එය සිදු නොවූ බව ද ඔහු පැවසීය. ඌව පළාතේ තනතුරු 10ක්ද, දකුණු පළාතේ තනතුරු 17ක් ලෙස නව තනතුරු 27ක් සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් අනුයුක්ත කිරීමට එම ආණ්ඩුව උත්සාහ ගත් නමුත්, එම නිලධාරීන් එකී තනතුරු බාරගැනීම ප්‍රතික්ෂේප කළ බව ද ධර්මසේන මහතා කීය.

කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුවේ පළාත් පාලන අමාත්‍යධුරය දැරූ ඇමැතිවරුන් දෙදෙනාටම කැබිනට් තීරණ අවලංගු කර ගැනීමට නොහැකි වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් යුත් කමිටුවේ තීරණ හා බලපෑම් හේතුවෙන් බව ද ලේකම්වරයා කීවේය.

- රංජන් කස්තුරි -