ඊසාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කාසිරංගා ජාතික වනෝද්‍යානයේ ජීවත් වන ඉන්දියාවට පමණක් ආවේණික, දුර්ලභ රයිනෝ සතුන් අටදෙනකු මහ වැසි සමඟ හටගත් ජල ගැලීම්වලට හසුවී මියගොස් ඇතැයි වන ජීවී නිලධාරීහු පවසති.  මෙම රයිනෝ සතුන් සිටින්නේ 2,500 කට අඩු සංඛ්‍යාවක් බව ද වන ජීවී
නිලධාරීහු පෙන්වා දෙති. උතුරු සහ ඊසාන දිග ඉන්දියාවට මේ වනවිට මෝසම් වැසි ඇද හැලෙමින් පවතින  අතර, ඉන්දියාවට පමණක් නොව, අසල්වැසි නේපාලයට සහ බංග්ලාදේශයට ද එයින් බලපෑම් එල්ල වී තිබේ. මෝසම් වැසි හේතුවෙන් 200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මිලියන  ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇතැයි වාර්තා වේ. ඇසෑම් ප්‍රාන්තයේ පමණක් මරණ 76 ක් වාර්ත වෙයි.


කාසිරංගා ජාතික වනෝද්‍යානය ලෝක උරුමයක් ද වෙයි. මහ වැසි සමග වනෝද්‍යානයෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ගොස් ඇති අතර, රයිනෝ සතුන්ට අමතරව තවත් සත්ව විශේෂ 100 ක් මියගොස් ඇති බව වන ජීවී නිලධාරීහු පවසති. කාසිරංග වනාන්තරයේ ජීවත් වන්නේ රයිනෝ සතුන් 2,400 ක් පමණි. ජල ගැලීම් හේතුවෙන් මියගිය සෙසු වන සතුන් වන්නේ කුළු මීමුන්, ඉත්තෑවුන්, මුවන් සහ ගෝනුන් යැයි ද පැවැසෙයි.. කාසිරංග වනාන්තරය සංචාරකයන් අතරේ ප්‍රකටය. දෙස් විදෙස් සංචාරකයෝ වනාන්තරයට පැමිණ, වන ජීවී නිලධාරින් සහ මග පෙන්වන්නන්ගේ ආරක්ෂාව යටතේ අලි ඇතුන්ගේ පිටේ ගොස් රයිනෝ සතුන් පමණක් නොව, ව්‍යාඝ්‍රයන් ද නරඹති.