බූස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ පාතාල හා මත්කුඩු ජාවාරම්කරුවන් හා සමීප සබඳතා පවත්වමින් දිගු කාලයක් එකම සේවා ස්ථානයක රැඳී සිටින ජේලර්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්
වෙනත් සේවා ස්ථාන වෙත මාරුකර යැවීමට බන්ධනාගාර මූලස්ථානය තීරණය කර ඇත.

මේ වනවිට අදාළ නිලධාරීන් පිළිබඳ බුද්ධි අංශ ඉදිරිපත් කර ඇති වාර්තතාවකට අනුව විමර්ශනයක් සිදුකරගෙන යන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ (28) පැවසීය. දැනටමත් එවැනි සැකකටයුතු නිලධාරීන් 20කගේ පමණ තොරතුරු බුද්ධි අංශ විසින් සොයාගෙන ඇතැයි ද වාර්තාවේ.

මෙම නිලධාරින්ගෙන් වැඩිදෙනා එකම සේවා ස්ථානයක දීර්ග කාලයක් සේවය කර ඇතැයි ද දැන ගන්නට තිබේ.

ඇතැම් පාතාල රැඳවියන්ගේ පණිවුඩ පිටට රැගෙන යාම පවා මෙම ඇතැම් නිලධාරීන් සිදුකර ඇති බවට පරික්ෂණවලදී හෙළිවී ඇතැයි ද එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

- ජයන්ත සමරකෝන් -