ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ මහතාට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි වාර්තාවේ.
බැසිල් රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වන බවත්,
ඒ අනුව ඒ මහතාට ජීවිත තර්ජනයක් ඇති විය හැකි බවත් ඊට හේතු වශයෙන් පෙන්වාදී ඇත.
 බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මුලස්ථානයේදී ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිදු කළ කරුණු දැක්වීමකදී මෙම කරුණු අනාවරණය විය.
පවතින අන්තරාව නිසා බැසිල් රාජපක්ෂමහතාට පොලිස් ආරක්ෂාව අවශ්‍ය වන බවද ඔහු කීය.  වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පවසා ඇත.

 "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය කාලයේ මැතිවරණ ජයග්‍රහණයේ පසුබිම තුළ ක්‍රියාකළ බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන භූමියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් සිදුවෙනවා. හිටපු ඇමතිවරයෙකු මෙන්ම විදේශීය රටවල් සමග සබඳකම් ඇති ශ්‍රී ලාංකිකයෙකු හා තවත් දෙදෙනෙකු කොළඹ තරු පහේ හෝටලයක සාකච්ඡා කරලා තියෙනවා. 2/3ක බලයක් ලබා ගන්න සම්පුර්ණ පසුබිම් වූ බැසිල් රාජපක්ෂ කෙසේද ඉවත් කරන්නේ කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු අප වෙත ලැබී තිබෙනවා. අද දිනයේ එම කරුණු පරික්ෂණ සඳහා පොලිස්පතිතුමාට ලබාදෙන බව කියන්න ඕන.

ඒ හිටපු ඇමතිවරයා කියලා තියෙනවා බැසිල් රාජපක්ෂ කියන චරිතය දේශපාලන භූමියෙන් ඉවත් කරලා දානකම් බලයට එන්න බැරිවෙයි කියලා. එහෙම වුණොත් මේ රාජපක්ෂවරු අවුරුදු ගණනාවක් මේ පාලන බලයේ හිඳීවි කියලා. විපක්ෂයක් හැටියට ගොඩඑන්න බැරි වෙන එක එහිදී සාකච්ඡා කරලා තියෙනවා. අද දිනයේ සිදුකරනු ලබන පැමිණිල්ලට අමතරව බැසිල් රාජපක්ෂ මහතාට ආරක්ෂාව සපයන්න කියලා කියනවා, සමහර විට ජීවිතයට පවා තර්ජනයක් විය හැකියි. බැසිල් රාජපක්ෂ මහතා ඉවත් කරන කුමන්ත්‍රණ කරලාම බැහැ. එතුමා උපක්‍රමශීලී දේශපාලනඥයෙක්. ඔහුව ඉවත් කරන්න නම් ජීවිත හානියක් කළ යුතුයි. පැමිණිල්ල කළ විගස පොලිස්පතිතුමාට කියා සිටිනවා විශේෂයෙන්ම පොලිස් ආරක්ෂාව ලබාදෙන්න කියලා” යැයිද පැවසීය.