හෝමාගම පිටිපන ප්‍රදේශයේ පුද්ගලයකු වෙළඳසලක සගවා තිබි ගිනි අවි 12 ක් සොයාගත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාගේ අනියම් බිරිය බව කියන කාන්තාවගේ නිවසේ සගවා තිබූ ගිනි අවියක් අත්බෝම්බ, උණ්ඩ, වෙඩි නොවදින ඇඳුම් කට්ටල ඇතුළු ආයුධ තොගයක් ඊයේ (1)පෙරවරුවේ හෝමාගම මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක්
විසින් සොයා ගනු ලැබ ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

මෙසේ සොයාගත් ආයුධ අතර රිපීටර් වර්ගයේ ගිනි අවියක්, අත් බෝම්බ 7 ක්, මිලිමීටර් 9 පිස්තෝලවලට යොදන උණ්ඩ 72 ක්, වෙඩි නොවදින ඇඳුම් කට්ටල දෙකක්, රිපීටර් ගිනි අවි උණ්ඩ දෙකක් හා හඳුනා නොගත් ගිනි අවියක උණ්ඩ 4 ක් තිබූ බව පොලිසිය පවසයි. සැකකාර ව්‍යාපාරිකයා මීට වසර දෙකතුනකට පෙර,මෙම නිවස මිලදී ගෙන ඇති බවත් එය ඔහු ආරක්ෂිත නිවසක් වශයෙන් තබාගෙන ඇති බවට තොරතුරු ලැබුණු බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසිය.

පිටිපන ගිනි අවි සඟවා තිබූ ගොඩනැගිල්ලේ හිමිකරුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවගේ නිවසේ ගිනි අවි තොගයක් සඟවා ඇති බවට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත හෝමාගම පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් පිටිපන උතුර සිල්වස්ටර් වත්තේ 4 වන පටුමගේ පිහිටි ඉදිකරමින් පවතින දෙමහල් නිවසේ පහත මාලය පරික්ෂා කිරීමේදී එහි පඩිපෙළේ පොහොර උරයක බහා රහසිගත ලෙස සඟවා තිබූ මෙම ආයුධ සොයාගනු ලැබූ බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම සැකකාරිය 33 හැවිරිදි අවිවාහක කාන්තාවක් බවත් ඇයගේ අනියම් සැමියා විසින් ඇයට පදිංචි වීම සඳහා මෙම නිවස දී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය සඳහන් කරයි. කාන්තාව මෙම නිවසේ පදිංචිවී නොසිටින බවත් නිතර වසා දමා ඇති මෙම නිවසට ඇය නිතර නිතර පැමිණ ආපසු යන බවට තොරතුරු ලැබී ඇතැයිද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

සැකකාර ව්‍යාපාරිකයා ආයුධ ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා සඳහා මෙම නිවස ලබාගෙන ඔහුගේ අනියම් බිරිඳ බව කියන ඉහත සැකකාරිය පදිංචිකරවා ඇති බවට පොලිසිය සැකකරයි. මෙම නිවසේ තවත් ආයුධ සඟවා ඇතිද යන්න හෙලි කර ගැනීම සඳහා පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

පිටිපන ගොඩනැගිල්ලේ හිමිකරු මෙම ආයුධ එම නිවසේ සගවා තබන්නට ඇති බවට පොලිසිය සැක කරයි. මේවා කුමන කාලයේ මෙම ස්ථානයේ සඟවා තබා ඇතිද යන්න හෙලි කර ගැනීමටද පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත. හෝමාගම මූලස්ථාන පොලිසිය සිද්ධිය  සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

(ඉන්දිකා රාමනායක,හෝමාගම- ප්‍රියන්ත ජයලත් , බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ මත්තෙගොඩ ශාන්ත කුලරත්න)