ඩීසල් වෙනුවට භූමි තෙල් යොදා ගනිමින් ධාවනය කරනු ලබන බස් රථ පරික්ෂා කිරීමේ මෙහෙයුමක් පෙරේදා (30දා)  හබරාදුවේදී සිදු කළ බව හබරාදුව පොලීසිය පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා ඛනිජල්තෙල් නීතිගත සංස්ථාවේ රසායන විද්‍යා  අංශය එක්ව මෙම මෙහෙයුම සිදු කරනු ලැබූ අතර එසේ භූමිතෙල් යොදා ධාවනය කළ බස් රථ හයක ඉන්ධන සාම්පල් ලබා ගැනීමට පොලීසිය කටයුතු කරන ලදී.
දුරගමන් සේවාවල යෙදෙන බස් රථවලට ඩීසල් වෙනුවට භූමීතෙල් යොදා ධාවනය කරනු  ලැබුන බවට ලැබුණු තොරතුරු මත හබරාදුව පොලීසිය ඉදිරිපිට සහ හබරාදූව  නගරයේදී පොලීසිය විසින් බස් රථවල ඉන්ධන ටැංකිවලින් මෙසේ ඉන්ධන සාම්පල් ලබා ගැනීමට කටයුතු කරනු ලැබිණි.

මෙම බස් රථ වලින් ලබා ගත් ඉන්ධන සාම්පල් ඛනිජ තෙල් සංස්ථාවේ රසායන විද්‍යා අංශය මගින් පරික්ෂා කරන බවත් එම පක්ෂාවේදී භූමීතෙල් යොදා ධාවනය වූ බව අනාවරණය වන බස් රථවල රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ මෝටර් රථ ප්‍රවාහන පරික්ෂක එම්. කෝදාගොඩ මහතා පවසයි.

ජිනේෂ් නානායක්කාර