සෞඛ්‍ය අමාත්‍යාංශය සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක හෙයින් තවදුරටත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව රට පුරා සියලුම මහජන සෞඛ්‍ය පරීක්සකවරුන් අද (20) දිනයේදී කොවිඩි-19 වයිරස් පාලන කටයුතුවලින් සහ බෝවන
රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ රාජකාරීවලින් ඉවත්  වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 1897 අංක 3 දරන නිරෝධායන ආඥා පනත සංශෝධනය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට රාජකාරි කිරීමේ බලතල ලබාදෙන්නැයි ඉල්ලීම් කළ ද, ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය දක්වන බව ද සභාපතිවරයා කීය.

බලතල නැතිව රාජකාරි කිරීමට නොහැකි තත්වයක් පවතින අතර, මේ වනවිට ගැටලු රැසකට මුහුණපෑමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට සිදු වී ඇතැයි ද උපුල් රෝහණ මහතා පැවැසීය.  එම ප්‍රශ්නය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (19) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බව ද සභාපතිවරයා කීවේය.


-රංජන් කස්තුරි-