කොවිඩ් ආසාධිත යැයි සැක රත්නපුර නඩුකාරදෙණියේ තරුණයාගේ පී.සී.ආර් වාර්තාව දින 05ක් ගතවුවත් රත්නපුර සෞඛ්‍ය අංශවලට ලැබී නෑ.

වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවු කෝවිඩ් 19 ආසාදිත රෝගියා සමග එකම වාට්ටුවේ සිටි බව කියන කුරුවිට නඩුකාරන්දෙණියේ පදිංචි විසිහතර හැවිරිදි බස් කොන්දොස්තර තරුණයාගේ පී.සී.ආර්.පරික්ෂණ වාර්තාව සම්බන්ධයෙන් දින පහක් ගතවී ඇතත් නිසි තොරතුරක් නිල වශයෙන් දැනුම් නොදීම නිසා ඔහුගේ පවුලේ අය මෙන්ම ප්‍රදේශවාසීන් දැඩි අවදානමකින් පසුවෙයි.
මේ සම්බන්ධයෙන් සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ඔහුටද නිල දැනුම්දීමක් කර ඇති අතර වාර්තාවූයේ 13දා රාත්‍රී 7.00 පමණ වනවිටත් ලබාදී නොමැති බවය. පසුගිය 09දා රාත්‍රී මෙම තරුණයා රැගෙන ගියේ කුරුවිට නඩුකාරදෙණිය ඔහුගේ නිවසේ සිටියදීය. ඒ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරින්ගේ සහ කුරුවිට පොලිස් නිළධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේය.

වැලිසර කොරෝනා රෝගීන් රඳවා සිටින රෝහලට රැගෙන ගිය අතර 13දා රාත්‍රී 7.00 වනතුරුත් සොඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් මෙම තරුණයාගේ කොරෝනා රෝග තත්ත්වය පිළිබඳව නිල දැනුම්දීමක් කර නොමැති බවට කුරුවිට සෞඛ්‍ය බවද නිලධාරී කාර්යාලයෙන් වීමසූ විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්. කරුණාරත්න මහතාද පැවසීය.

"කන්දකාඩු ඉදලා ආපු හැමකෙනෙක් සම්බන්ධයෙන් ම තොරතුරු සොයලා ඒ අය ආපසු කැදවලා හමුදාව මැදිහත් වෙලා පී.සී.ආර්. පරික්ෂණ  කළා. කෝවිඩි 19 වෛරසය ශරීරගත වී ඇති බවට තහවුරු මිල්ලවිටියේ හමුදා නිලධාරියෙක් ගැන යුද හමුදාවෙන් අපි වෙත දැනුම් දීම් කළා. ඒ හමුදා නිලධාරියාගේ පවුල්වල සාමාජිකයන් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනියන්න සූදානම් කරන්න කියලා දැනුම් දුන්නා. ඒ අනුව ගෙනගියා. නමුත් නඩුකාරදිණියේ තරුණයා සම්බන්ධයෙන් දින පහක් ගත වෙලත් සෞඛ්‍ය අංශයෙන් අපට කිසිදු දැනුම්දීමක් කර නෑ. අවට පොද්ගලික සහ රාජ්‍ය ආයතනවලින් නිතරම අපෙන් වීමසනවා. එයාට කොරෝනාෙ නේද කියලා. ඇත්තටම අපි දන්නේ නෑ. මේ ගැන විවිධ කටකතා පැතිර යනවා. මිනිස්සු තිගැසීමෙන් ඉන්නේ. දැනට ඒ තරුණයාගේ ගෙදර අය පමණක් නිවසේම ස්වයං නිරෝධායනයට ලක්කරලා තියනවා. එයා ඇඹිලිපිටියටත්, පනාමුරයටත් ගිහිං තියනවා. ඒ පැත්තෙනුත් අපෙන් අහනවා.

කෙසේ වෙතත් ඇතැම් ජනමාධ්‍ය මගින් 13දා ප්‍රචාරය වූයේ කුරුවිට නඩුකාරදෙණියෙන්ද කොරෝනා ආසාදිතයෙකු හමුව ඇති බවයි. ඔහු කන්දකාඩු නිරෝධායන කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබළක් බව එම ප්‍රවෘත්තියකින් කියැවිණි. කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්. කරුණාරත්න මහතා පවසන්නේ, නඩුකාරදෙණියෙන් පී.සී.ආර්. පරීක්ෂණයට යුද හමුදාවේ සේවය කරන කෙනෙක් තමන් දැනුවත්ව ගෙන නොගිය බවයි. වැලිකඩ බන්ධනාගාරගතව නිදහස් වූ මුලින් කී බස් කොන්දොස්තර තරුණයා පමණක් තම කාර්යාලයේද අනුදැනුම මත නඩුකාරදෙණියෙන් පී.සී.ආර්. පරීක්ෂණයට ගෙන ගිය බවද හෙද කරුණාරත්න මහතා තහවුරු කළේය.

මේ අතර සබරගමු මහ  සමන් දේවාලය අසල පදිංචි කොරෝනා වෛරසය වැලඳුණු හමුදා නිලධාරියෙකු සම්බන්ධයෙන් වාර්තාවීමෙන් පසු සබරගමු මහ සමන් දේවාලයේ පූජා කටයුතු මහජනයාට සීමා කළ බව බස්නායක නිලමේ මීගාර ජයසුන්දර මහතා පැවසීය.

"සමන් දේවාලේ පූජා කටයුතු සදහා එන බැතිමතුන්ට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා අපි උපදෙස් දෙනවා. දුරස්ථ බව රකිමින් ඉන්න ඕනෑ තැන්වල දුර ලකුණු කරලා තියනවා. බැතිමතුන් ඒවා පිළිපදින්නේ නෑ. පොලීසියටවත් බැතිමතුන් පාලනය කරන්න බෑ. ඒ නිසා පූජා සහ තේවා කටයුතු සඳහා අපි මහජනතාව එකතු කරගැනීම සීමා කළා. එහෙම නැතුව දේවාලය වහලා නෑ.” යැයි බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා පැවසීය.

(අජිත්ලාල් ශාන්තඋදය)