තංගල්ල, පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වීමත් සමඟ තංගල්ල නගරයේ වෙළෙඳ සැල් කිහිපයක සහ නිවෙස්වල පුද්ගලයන් 36ක් නිරෝධායනය කිරීමටත්, වෙළෙඳ සැල් 03ක් වසා දැමීමටත් පෙරේදා 13දා ක්‍රියාකළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා
පැවසීය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන අදාළ ආසාදිතයා හඳුනාගැනීමෙන් අනතුරුව එම පුද්ගලයා ආශ්‍රය කළ  පුද්ගලයන් සහ ඔහු ගැවසුණු වෙළෙඳසැල්වල පුද්ගලයන් මෙලෙස නිරෝධායනයට යොමු කර තිබේ.

මෙම පුද්ගලයා තංගල්ල නගරයේ සුපිරි වෙළෙඳ සැලක් ඇතුළු වෙළෙඳසැල් 11කට, බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයකට සහ බාබර් සාප්පුවකට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබිණි.

ඒ අනුව එම වෙළෙඳසැල්වල සේවකයන් සහ ආසන්න කාලයේදී ඒවාට පැමිණි පුද්ගලයන් 17 දෙනෙකු පෙරේදා (13දා) නිරෝධායනය කෙරිණි. එම ආසාදිතයා ගැවසුණු බවට හඳුනාගත් බාබර් සාප්පුවේ හිමිකරු ඇතුළු නිවැසියන් 04ක්ද නිරෝධායනය කර ඇති අතර, ආසන්න කාලයේදී පැමිණි බවට හඳුනාගත් විවිධ ප‍්‍රදේශවල පදිංචි 08 දෙනකු ඊයේ(14) දිනයේදී නිරෝධායනය කිමට කටයුතු කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

තවද ඒ.ටී.එම්.යන්ත්‍රය භාවිත කළ බවට පුද්ගලයන් 12 දෙනකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ද නිරෝධායනය කිරීමට නියමිතව තිබිණි. තංගල්ල පට්ටියපොළ ප‍්‍රදේශයේ නිවෙස් 08ක පුද්ගලයන් 15ක් නිරෝධායනය කර ඇති අතර, අදාළ පුද්ගලයන්ගේ නිවසේ ඥාතීන් 06දෙනකු පෙරේදා (13දා බිගම නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.ජී. සරත් මහතා පැවසීය.

කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයා පැමිණි බවට පැවසෙන තංගල්ල නගරයේ රෙදිපිළි අලෙවිසැල් තුනක නියමිත නිරෝධායන නීති අනුගමනය නොකිරීම හේතුවෙන් එම වෙළෙඳ සැල් වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙරේදා කටයුතු කළහ.