නව කොරෝනා වෛරසයට (CVOID-19) ගොදුරු වී එය සුව අතට පත්වූවන් අතර ප්‍රමාණවත් තරම් ප්‍රතිශක්තියක් සපයන ප්‍රතිදේහ නිෂ්පාදනය නොවන බව ඔස්ට්‍රේලියාවේදී සිදුකළ අලුත්ම අධ්‍යයනයක් මඟින් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව වරක් මෙම වෛරසය සෑදුණු පුද්ගලයන් සතු ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙසේ ක්‍රියාකරන්නේද යන්න සහ යළිත් වරක් එම වෛරසය ආසාදනය වුවහොත් ඉන් ලැබෙන ආරක්ෂාව පිළිබඳව පර්යේෂකයන් මෙහිදී අධ්‍යයනය කර ඇත.

ඔවුන් මෙහිදී පුද්ගලයන් 41 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු රැස් කරගෙන තිබේ. උදාහරණ ලෙස පැපොල වැනි බෝවන රෝග අවස්ථාවකදී නම් එය වැලඳුණු රෝගියෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ එම වෛරසය හඳුනාගැනීමේ හැකියාවක් පවතින බවත්, යළිත් වරක් එම වෛරසය මුණ ගැසුණු විට එය සිරුරෙන් පලවා හැරීමේ හැකියාවක් එම ප්‍රතිශක්තිකරණය සතුව පවතින බවත් පර්යේෂකයන් පවසයි.

එහෙත් SARS-CoV-2 ලෙස හැඳින්වෙන මෙම නව කොරෝනා වෛරසය ඕනෑම අයෙකුට වැලඳීමේ හැකියාව පවතින බව මෙම අධ්‍යයනය මඟින් පෙන්වා දෙයි. එහිදී එක්වරක් එය වැලඳුණු රෝගීන් පවා ඉන් ආරක්ෂිත නොවන බවත්, ඔවුන් හරහාද යළි යළිත් එය ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බවත් පැවසෙයි.

ඒ අනුව නව කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිපදවීම අනිවාර්යය වී ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි. එසේ නොමැතිව පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රතිශක්තිකරණයක් බලාපොරොත්තු විය නොහැකි බවද ඔවුන් අවධාරණය කරයි.

"අපි අධ්‍යයනයට ගත් පුද්ගලයන් 41 දෙනා අතරින් 3  දෙනෙකු තුළ පමණයි ශක්තිමත් ප්‍රතිදේහ නිෂ්පාදනය වී තිබුණේ. ඒ හරහා ඔවුන්ට පුළුවන්කම ලැබෙනවා, යළිත් වතාවක් තමන්ගේ සිරුරට ඇතුළු වන නව කොරෝනා වෛරසයෙන් අඩක පමණ ප්‍රමාණයකට එරෙහිව සටන් කරන්න විතරක්. සාමාන්‍යයක් විදියට ගත්විට ප්‍රතිශක්තීකරණ පද්ධතියේ නිපදවෙන මේ ප්‍රතිදේහ මඟින් නවත්වන්නේ නව කොරෝනා වෛරසයෙන් 14.1%ක ප්‍රතිශතයක් විතරයි. ඒ කියන්නේ ආයෙත් සැරයක් කොරෝනාවට නිරාවරණය වුණොත් ඔහු කොරෝනා රෝගියෙකු වෙනවා."