ත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියේ සැකකාර නාකොටික් නිලධාරින්ට ගිනි අවි සහිත ආරක්ෂාව සැපයු බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කිහිප දෙනකු සම්බන්ධයෙන් මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවත්, නොබෝ දිනකින් ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ පියවර ගැනීමට අපේක්ෂා කරන බවත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඊයේ (21) ප්‍රකාශ කළේය. ලංකාවේ කිර්තිමත් විමර්ශන ආයතනයක් වන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්
කිහිප දෙනකු මුල්‍යමය ප්‍රතිලාභ හේතුවෙන් සැකකාර නාකොටික් නිලධාරින් සමග සම්බන්ධ වෙමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ගිනි අවි සහිත ආරක්ෂවක් සපයා ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.  සැකකාර නාකොටික් නිලධාරින් විසින් වැටලීම් වලින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින්, ජාවාරම්කරුවන්ට විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරික්ෂණ අධිකරණය හමුවේ ඊයේ (21) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත්විණි.


සිද්ධියට අදාළ සැකකාර නාකොටික් නිලධාරින් 13 දෙනා අගුණකොළපෑලැස්සට බන්ධනාගාරය තුළ රඳවා ඇති බවත්, කොවිඩ් වයිරසය හේතුවෙන් සෞඛ්‍ය හේතු මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන බවත් බන්ධනාගාර වාර්තාවක් මගින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් කරන පොලිස් නිලධාරින් පස් දෙනකු සහ සිවිල් පුද්ගලයන් 3 දෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනකු අත්අඩංගුවේ සිටින බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, රජයේ නීතීඥ කසුන් සරත් චන්ද්‍ර යන මහත්වරුන් සමග අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික ලලිත දිසානායක, උප පොලිස් පරික්ෂක උපාලි යන නිලධාරින් ඇතුළු කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරික්ෂක සමන් යන අය භාරයේ තිබී අත්අඩංගුවට ගත් පිස්තෝල වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ රජයේ රස පරික්ෂකරවයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. සැකකාර නාකොටික් නිලධාරීන් මහා පරිමාණ වැටලිවලින් භාරයට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 700ක් පමණ රජයේ රස පරික්ෂකවරයා වෙත නොයවා ඔවුන්ගේ නඩු බඩු ගබඩාවේ රදවා  තබා ගැනීම සම්බන්ධයෙන් විත්තියේ නීතීඥවරුන් පවා ඉකුත් නඩු දිනයේදි විශ්මය පළකළ බවත්, එහි තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 500කට වැඩි ප්‍රමාණයක් සහිත උර 23ක් මේ වන විට රජයේ රස පරික්ෂකවරයා වෙත භාරදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දු න්නේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ කාරමය වෙත ඉකුත් 09 වැනිදා පැමිණි රජයේ රස පරීක්ෂකවරයා එහි තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය පරික්ෂාවට ලක්කිරිමෙන් පසු සාම්පල් රැගෙන ගිය බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම අධිකරණයේ විභාග වන නඩු අංක බී 31722/20 නඩුවට අදාළව (ඉරාන ජාතික සැකකරුවන් සම්බන්ධයෙන් වන නඩු) හෙරොයින් කිලෝ 279 ග්‍රෑම් 591 ක ප්‍රමාණයක් 2020 අප්‍රේල් මස 15 වැනිදා සිට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ කාමරයේ තබා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය. මෙම අධිකරණයේ විභාග වන තවත් නඩුවක් වන නඩු අංක බී  26779/20 නඩුවට අදාළව හෙරොයින් කිලෝ 279 ක් සහ ග්‍රෑම් 560ක ප්‍රමාණයක් 2020 මැයි මස 15 වැනිදා සිට එම ගබඩාවේ රඳවා තබා ගෙන තිබූ බවත්, ඒවා සියල්ල මේ වන විට රජයේ රස පරික්ෂවරයා වෙත ඉදිරිපත් කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. කුඩු පැකට් කළේ බලපිටියේ විලා එකක පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරින් වැලිසර මහබාගේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ  243 ක ප්‍රමාණයෙන් හෙරොයින් කිලෝ 43ක් අතුරුදන් වී ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සඳහන් කළේය.


මෙම සැකකරුවන් බලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක (වීලා එකක)  නතර වී සිටි මෙම වැටලීම් සිදුකර ඇත්තේ 2017 සහ 2018 වර්ෂවල දී බවත්, ඔවුන් එම කාල වකවානුවේ සිට මන්දා ජාවාරම සදහා යොදා ගන්නා නිල නිවාසයක් බවට එය පත්කරගෙන තිබූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙම කාලවකවානුවේදී ජාත්‍යන්තර හෙරොයිත් මන්ද්‍රව්‍ය රැගත් නෞකාව පාකිස්ථානයේ සිට පැමිණ ඇති අතර, මෙම සැකකාර  නාකොටික් නිලධාරින් අවස්ථා හතරකදී බෝට්ටුකරුවන්  යොදාගනිමින් ගැඹුරු මුහුද වෙත ගොස්, මෙම පැකට් 243ක ප්‍රමාණය ගොඩබිමට රැගෙන විත් ඇති බවත්, හෙරොයින් සමග මෙරටට එවන ලද පිස්තෝල වර්ගයේ ගිනි අවි තවමත් අතුරුදන්ව ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන, මේ වන විට මරණීය දණ්ඩනය ලැබ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කැමිලස් පිල්ලේ නමැත්තාගේ ගෝලයකු මගින් මේ තොරතුරු ලබාගත පෑළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමක් සිදුකරන බවත්, එම වැටලීම සම්බන්ධයෙන් පමණක් අධිකරණයට කරුණු වාර්තා කරන මෙම සැකකාර නාකොටික් නිලධාරින් එහි පසුබිම ඉතා සූක්ෂම ආකාරයෙන් යටපත් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙම අන්තර්ජාතික නෞකාව එන්නේ දකුණු ආසියානු කලාපයටම හෙරොයින් බෙදීමට මිස ලංකාවේ පමණක් ඉලක්ක කරගෙන නොවන බවත්, මෙම නෞකාව අත්අඩංගුවට ගැනීමට නාකොටික් නිලධාරින් කටයුතු නොකර, රට තුළට හෙරොයින් ගෙන්වා ගැනීමට ආධාර උපකාර කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු සඳහන් කළේය.

මෙහිදි සැකකරුවන් සුළු පිරිසක් පමණක් අත්අඩංගුවට ගැනීමට මෙම නාකොටික් නිලධාරින් කටයුතු කර ඇති බවට ගැඹුරු මුහුදට ගිය බෝට්ටුවල කීපරිවරුන් මේ වන විට ප්‍රකාශ ලබාදී ඇතැයි ද  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා - මේ බෝට්ටු ස්කීපර්ට, සැකකාර නාකොටික් නිලධාරින් අවස්ථා දෙකකදී රුපියල් කෝටියක මුදලක් ලබා දීලා තිබෙනවා. උපායදුතයාට තවත් රුපියල් කෝටියක් දෙනවා. මාළු කිලෝ 1500ක් බෝට්ටුවලින් ගැඹුරු මුහුදට අරගෙන යනවා. බෝට්ටුවලට රුපියල් ලක්ෂ 15ක් දෙනවා. ඉන්ධනවලට වෙනමම රුපියල් ලක්ෂ 5ක් දෙනවා. හාල්වලට ලක්ෂ 50ක් දෙනවා. මේ නාකොටික් නිලධාරින් දවස් තුන හතරක් මහ මුහුදේ ඉන්නවා. මේ අය මුහුදු යන්න පුහුණු වෙච්චි අය නොවෙයි. සමහරුන්ට පීනන්නවත් බැහැ. මොවුන් සෑටලයිට් දුරකතන තුනක් භාවිත කළා කියලා මේ වන විට හඳුනාගෙන තිබෙනවා. මෙහි බිල් ගෙවන්නේ කවුද? ආරක්ෂක අමාතාශයෙන් අනුමැතිය අරගෙන මේ දුරකතන භාවිත කළ හැකියි. මෙව්වායේ බිල් ගෙවන්නේ මෙරට සිට නොවෙයි. ජාත්‍යන්තරයේ සිට කාඩ් මගින් තමයි මේවායේ බිල් ගෙවා ඇත්තේ. සිංගප්පුරුවේ සිට සහ ඩුබායි සිට. දැන් අනාවරණය වෙලා තිබෙනවා ඩුබායි රාජ්‍යයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මේ බිල් ගෙවලා තියෙන්නේ කියලා. මෙම දුරකතනයෙන් එක් ඇමතුමක් ලබා ගනිද්දී විනාඩියකට රුපියල් 350ක් විතර වැය වෙනවා. රජයේ නිලධාරින්ට මෙච්චර සල්ලි කොහෙන්ද?

අධිකරණය- සාමාන්‍යයෙන් වැටලීමකදී යම් මුදල් ප්‍රමාණයක් වැය වෙනවා තමයි. නමුත් මේ වැටලීම් වලට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වැය වෙලා තිබෙනවා නේන්ද?

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා - ඔව්. පොලිස් නිලධාරින්ට මෙවැනි මුදල් ප්‍රමාණයක් වියදම් කරන පොලිස් දෙපාර්තමේන්තුවෙන් කිසිදු අනුමැතියක් නැහැ. මේ අය පුද්ගලික වාහන යොදාගෙන මේ වැටලීම් කරලා තිබෙන්නේ. මොවුන් භාවිත කළ වාහන 15ක් විතර මේ වන විට සොයා ගෙන තිබෙනවා. මෙහි සැකකාර නිලධාරියෙක් වන වීරසිංහ යන නිලධාරියා ළග රුපියල්  ලක්ෂ 320ක ද්‍රවශීලී මුදල් වශයෙන් තිබී අත්අඩංගුවට ගත්තා. මේ  අය මේ විශාල මුදලක් බෙදාගෙන වැටලීමකුත් කරනවා. රජයේ නිලධාරියෙක් යම් මුදලක් ඉල්ලීමේදී ඉල්ලීම් පත්‍රිකාවක් ඉදිරිපත් කර අධීක්ෂණ නිලධාරිවරයාගේ අනුමැතියට දාලා පසුවට ගණකාධිකාරිවරයා වෙත ගොස් තමයි මේ අනුමැතිය ලබා දෙන්නේ. ඒ වගේම මෙම සැකකාර නිලධාරින් බලපිටිය විලා  එකට වෙලා ඉදගෙන දිනකට රුපියල් 8,000 බැගින් මුදල් ලබා දෙමින් දෙනිකව කොළඹ මහාධිකරණයේ පවතින නඩුවලට සාක්ෂි දෙත එනවා.

මෙම සැකකරුවන් ඒ සඳහා යන වියදම ඉල්ලීම් පවා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා නැහැ. මෙම හෙරොයින් කිලෝ 243ක් සම්බන්ධයෙන් වැටලීමත් ඇස්බැන්දුමක් විතරයි. ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් මොවුන් බෝට්ටුවලින් රට  තුළට ගෙනැවිත් තිබෙනවා කියලා දැන් තොරතුරු අනාවරණය වෙනවා. ඒ සම්බන්ධයෙන් දැන් විමර්ශන ආරම්භ කරලා තියෙන්නේ. මෙම සැකකරුවන් ඇයි හතර පාරක් මහ මුහුදට ගියේ. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා හෙරොයින්වලට මොකද වෙන්නේ කියලා මහ ජනතාව ප්‍රශ්න කරනවා. මොවුන් ප්‍රධාන හෙරොයින් ජාවාරම්කරු අල්ලන්නේ නැහැ. පොඩි පොඩි ගෝලයෝ අල්ලනවා. මෙම හෙරොයින් විකිණීම සඳහා මොවුන්ට ස්ථිර ගැනුම්කරුවන් ඉන්නවා. ඒ වගේ කෙනෙක් තමයි රජිත නොහොත් ලොකු කියලා තියන්නේ..

අධිකරණය - මේ අධිකරණයේ පවතින නඩුවක් වන ඉරාන් ජාතිකයින් අත්අඩංගුවට ගැනීමට අදාළ හෙරොයින් වැටලීම කළේ නාවික හමුදාව විසින් නේද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා : ඔව් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශයේ ඇතුළේ නිලධාරියෙක් මෙම සිද්ධිය ගැන ප්‍රකාශ ලබා දීලා තිබෙනවා. නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ගෙනැවිත් පැකට් කඩලා ඉන් හෙරොයින් ලබාගෙන තවත් පැකට් 11ක් හදලා පිටතට ගෙන ගියා කියලා.

අධිකරණය - මාධ්‍ය මගින් මේවා පෙන්නුවා නේද? හොදින් අසුරා තිබුණා දුටුවා. මාධ්‍යයෙන් පෙන්නුවාට පස්සේ මේ වගේ පැකට් කඩලා මෙහෙම දෙයක් කරන්න පුළුවන් ද?

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා- ස්වාමිනි රජයේ රස පරික්ෂවරයා බැලු බැල්මට කියනවා මේ හෙරොයින් උර වල මුද්‍රා කඩලා වෙනස් කරලා තිබෙනවා කියලා. මෙම සැකකරුවන්ගෙන් ප්‍රධාන සැකකරුවා නාවික හමුදාවෙන් මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් පසු ඒවා මුද්‍රා කඩා වෙනමම පැක් කරලා ඔවුන්ගේ ගැනුම්කරුවන් වෙත යවලා තිබෙනවා.

 අධිකරණය - මේවා කරලා තියෙන් නාකොටික් එක ඇතුළේ ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා : ඔව්. මෙම සැකකරුවන් මේවා කරලා තියෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළේදීමයි.

අධිකරණය - මොවුන් එම හෙරොයින් වලින් භාගයක් ගත්තාම එහි ප්‍රමාණය වෙනස් වෙනවා නේද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා : එහෙමයි. එහෙම වුණාම මේ අය කරන් ඒවාට වෙනත් දේවල් කලවම් කරනවා. පැකට් කඩලා ඒවායින් භාගයක් අරගෙන වෙනත් දේවල් මිශ්‍ර කරනවා. අන්තර්ජාතික ජාවාරම්කරුවන් මෙරටට එවන්නේ ශුද්ධ හෙරොයින්. මෙරටදී තමයි ඒවා කලවම් කරලා දෙන්නේ. මෙම හෙරොයින් මෙරට වෙළෙඳ පොළේ මිල වශයෙන් සදහන් වන්නේ ග්‍රෑම් එකක් රුපියල් 12,800ක් ලෙසයි. මෙම සැකකරුවන් මේවාට අලෙවි කරලා කොයි තරම් ආදායමක් උපයා ඇත්ද? මෙම සිද්ධියේ සැකකරුවන් මෙම උපයන ලද මුදල් අරගෙන පෞද්ගලික ලාභ පරමාර්ථයෙන් යුතුව පූජා වට්ටි රැගෙන කතරගම පූජා භූමීයට ගොස් පූජා පවත්වලා තිබෙනවා. ඒ සඳහා මේ බෝට්ටුකරුවොත් සහභාගී වෙලා තිබෙනවා. මේ සියල්ල මේ වීරසිංහ කියන පොලිස් කොස්තාපල්වරයා සිය මුහුණු පොතේ ඇතුළත් කරලා ලෝකෙටම පෙන්නලා තිබෙනවා. විශේෂයෙන්ම මෙම නාකොටික් නිලධාරින් සිය අනන්‍යතාව හෙළි කරන්නේ නැහැනේ. මොවුන් කතරගම ගිහිල්ලා ඒත් එෆ් බී ගිණුම් වලට දාලා. මේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විශේෂ ඒකකයේ නිලධාරින්. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශ 06ක් තිබෙනවා. ඒ අතුරින් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අතින්ම තෝරාපත්කර ගත් කණ්ඩායමේ නිලධාරීන් මේ අය.  මොවුන් කෙළින්ම භාවිතා කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට. දැනට මේ සැකකරුවන් උපයා ඇති දේපල අතර මිලියන 105ක වත්කම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

බැංකු ගිණුම් 33ක්, රත්‍රන් පවුම් 20ක් වාහන 14ක් වශයෙන් තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියන්නේ විශේෂ වැටලීම් ඒකකයක්. මෙතැන සිටිය චෞර පිරිසක් නිසා අද මෙහෙම වෙලා මුළු පොලිස් දෙපාර්තමෙන්තුවටම කැළලක් වෙලා. තවත් පිරිසක් අත්අඩංගුවට ගන්න ඉන්නවා. මෙරට කීර්තිමත් වැටලීම් අංශයක් වන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කිහිප දෙනෙක් මේ ජාවාරමට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාක්ෂි එක්ක ඉදිරිපත් කිරීමයි අපි බලාපොරොත්තු වන්නේ. මෙම එස්.ටී.එෆ් කණ්ඩායම නාකොටික් කණ්ඩායමට අවි ආයුධ සගීත ආරක්ෂාවක් ලබා දෙමින් කටයුතු කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් ගැන ඉදිරියේදී අධිකරණ පියවර ගැනීමට කටයුතු කරනවා. මොවුන් මූල්‍ය ප්‍රතිලාභ බලාගෙන තමයි මේ කාර්යය කරලා තිබෙන්නේ. මෙම නාකොටික් සිද්ධියේ සමස්ත මුල්‍ය සම්බන්ධීකරණය කරලා තිබෙන්නේ. එකවුන්ටන් වගේ වැඩ කරලා තියෙන්නේ පොලිස් කොස්තාපල් වීරසිංහ කියන නිලධාරියා. මොහු සතුව තිබී රුපියල් ලක්ෂ 325ක මුදලක් හම්බ වුණා.

ජාවාරම්කරුවෝ සල්ලි දාන්නේ මේ සැකකරුගේ ගිණුම්වලට. මොවුන් මේ මුදල් එක තැන තියා ගන්නේ නැහැ. විශේෂයෙන්ම ගනුදෙනු වෙන්නේ බැංකු හරහා නොවෙයි. මෙම වැටලීම්වලින් අත්අඩංගුවට ගත් හෙරොයින්වලින් විශාල තොගයක් මොවුන් ළග තිබෙනවා. රුපියල් ලක්ෂ 21ක් සැකකාර රත්නායක කියන නිලධාරියා විසින් වළදමා තිබියදී අත්අඩංගුවට ගත්තා. මේ සිද්ධිය හිතාගන්න බැරි තරම් සංකීර්ණ එකක්. මෙම ක්‍රියාකාරකම 2013 වර්ෂයේ සිටි පැවත ආවත් එය සක්‍රීය වන්නේ 2017 වර්ෂ යේ සිටියි. මේ වසර තුන තුළ මේ සැකකරුවන් විශාල  මුදල් ප්‍රමාණයක් උපයලා තිබෙනවා. මේ සා විශාල වත්කම් රාශියක් සහිතව නිලධාරින් සිටින කොට උසස් නිලධාරින්ට මේවා පේන්නේ නැද්ද? මොවුගේ දේපල ලියලා තියෙන්නේ එකම නිතීඥ මහතෙකු විසින්. මෙහි මූල්‍ය පාලක වශයෙන් සිටින වීරසිංහ කියන නිලධාරියා බලපිටිය ප්‍රදේශයේ සිට කොළඹට ආවේ කෝච්චියෙන්. වසර තුනකට පස්සේ අද එන්නේ  සුඛෝපභෝගී වාහනවලින් අද ඔහු කෝටිපතියෙක්. මේක අධික්ෂණය කරන නිලධාරියාට මේවා පෙන්නේ නැද්ද? මේ විශාල ජාවාරමක් ගැන තමයි මේ විමර්ශනය යන්නේ. සාමාන්‍ය නිලධාරියකුට වැටලීමකට ගියාම ලැබෙන්නේ රුපියල් 5,000ක්  6,000ක් පමණ මුදලක්. ඒක ගත්තත් මාස ගාණක් යනවා. මෙහිදී  සමහර උපායදුතයින්ට දෙන්නේ ලක්ෂ 100ක්. මේ මුදල් කොහෙන් එන ඒවාද?

හරි නම් මේ නඩුව වෙන තැන පොලිස්පති ඉන්න ඕන. පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඉන්න ඕන. මේ අයට මරණ දඬුවම දෙන්න ඕන කියලා ඒ අයට කියන්න බෑහැ. ඒත් ඒ අය
මෙතැන අද ඉන්න ඕන. ඒත් මේ වගේ රටක් බලා ගෙන ඉන්න නඩුවක ඉන්නේ විමර්ශන නිලධාරීන් කණ්ඩායම විතරයි..

අධිකරණය- මේ සිද්ධියට ඉහළ නිලධාරින්ගේ දැනුම සේවය අත්‍යවශ්‍යයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා - මේ සිද්ධිය තව නොබෝ දිනකින් ඇල් මැරුණු ස්වභාවයකට පත් වෙයි. මාධ්‍යවේදීන් නිසා  මේ නඩුව මේ ආකාරයටවත් ඉදිරියට යනවා. මාධ්‍ය නැත්නම් මේ නඩුවට මොනවා වෙයි ද දන්නේ නැහැ.

අධිකරණය -ඒකට වග කියන්න ඕන කවුද?

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා- ඒක තමයි කිව්වේ . මේකට ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහාය අත්‍යවශ්‍යයි කියලා. මෙහි තවත්  සැකකරුවන් අත්අඩංගුවට ගන්න ඉන්නවා. ශ්‍රී ලංකා රේගුවේ
සිදුවෙච්චි රත්‍රන් කිලෝ 20ක ජාවාරමක් සම්බන්ධයෙන් ඔත්තුකරුවකු වූ නැපෝලියන් කියන පුද්ගලයාට රජයෙන් ත්‍යාග මුදල් වශයෙන් රුපියල් දෙකෝටී හැටපන්ලක්ෂයක මුදලක් ලැබුණා. මේ සැකකරුවන් ඒ මුදලින් රුපියල් ලක්ෂ 75ක  මුදලක් ණයට ඉල්ලාගෙන ඇති බවද කරුණු අනාවරණය වුණා.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අද්විත් පතිරණ මහතා - ස්වාමිනි, රටේ නීතිය අනුව බරපතළ අපරාධකරුවකු වුවත් ඔහුට විරුද්ධව සාක්ෂි තියනවා නම් පුද්ගලික නිදහස තාවකාලිකව ඉවත් කරන්න පුළුවන් අවස්ථා තුනක් තියනවා. ඒ, සැකකරු, චූදිත සහ චූදිත වරෙන්තු වශයෙන්. මේ කියන කතාවල කිසිදු හරයක් නැහැ. යුක්තිය දෙපැත්තටම ඉෂ්ට  විය යුතුයි.

අධිකරණය : එක් එක් සැකකරුවන්ට එරෙහිව ඇති සාක්ෂි  සම්පිණ්ඩන වාර්තාවක් අද අපරාධ පරික්ෂණේ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරලා තිබෙනවා ද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව- ඔව්..

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයෙන් පෙනී සිටි නීතීඥ වසන්ත පිටිගල මහතා - ස්වාමිනි, මේ කියන විදිහට මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළේ තිබිලා විකුණුවා කියලා කිසිදු හෙරොයින්
තොගයක් සොයාගෙන නැහැ. මේ සැකකරුවන්ට වීස වර්ග අබිං සහ අන්තරාදායක පනත යොදා ගෙන ඇප දිය නොහැකි ආකාරයට හිර කර තිබෙනවා. මොවුන්ට මුදල් විශුද්ධිකරණය යටතේ නඩුවක් ගොනු කළ හැකි වුවත් විෂ වර්ග පනත අනුව නඩුවකට යන්න බැහැ.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ නලින් රත්නායක මහතා- ස්වාමිනි මට මගේ සේවාදකයාගෙන් ලද උපදෙස් අනුව ඔහු සඳහන් කළා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුහොර මුදල් නෝට්ටු ගෝනියක් තිබුණා කියලා. වැටලීම්වලට යද්දි ඒ මුදලින් කොටසක් නියම මුදල් වලට කලවම් කරලා අරගෙන යනවා කියලා කිව්වා. මේ සම්බන්ධයෙන් මගේ සේවාදකයා පැමිණිල්ලට කටඋත්තරයක් දෙන්න හැදුවාම රහස් පොලිසිය ඒක ප්‍රතික්ෂේප කරලා.

අධිකරණය - අතින් සල්ලි ලබාදීලා කුඩු ගන්න ක්‍රමයක් ගැන මෙතෙක් කියැවුණේ නැහැනේ. මොකද මේ කියන කතාව?

 නීතීඥවරයා- මේ පරීක්ෂණය ගලා යන්නේ පොලිසියේ පොඩ්ඩෝ වෙනුවෙන් විතරයි. ඉහළ නිලධාරින්ට නැහැ. ප්‍රකාශයක් දෙත හැදුවාම ඒක ලියා ගන්න බැහැ කියලා කියනවා.

අධිකරණය -හොර නෝට්ටු ගෝනියක් තිබ්බා කියලා කියනවා. (පොලිසියට) එතැනට හොර සල්ලි ආවේ කොහොමද කියලා විමර්ශනයක් කළ යුතුයි.

සහකාර පොලිස් අධිකාරී මල්පේ ළමාහේවා මහත්තා - ස්වාමිනි, පොලිස් නිල සුනඛයෝ දාලා විශේෂ කාර්ය බලකායත් සමග මේ නාකොටික් පරිශ්‍රය විශේෂ සෝදිසියකට ලක් කළා. ඒත් ඔය කියන කිසිම දෙයක් හමු වුණේ නැහැ. විශේෂයෙන්ම  මෙම නෝට්ටුවල එකම අංකයෙන් තමයි මුද්‍රණය වෙලා තිබෙන්. පොලිස් දෙපාර්තමේන්තුවේ ඔය කියන ක්‍රමවේදයක් නැහැ. මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරනවා.

අධිකරණය : අස්වාභාවික දේවල් වෙච්චි තැනක හොර සල්ලිත් තිබිලා. මෙතැන විශාල ගනුදෙනු වෙලා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව වහාම හොයලා වාර්තා කරන්න ඕන.

නීතීඥ අජිත් පතිරණ මහතා -ඇතැම් අවස්ථාවල විශේෂයෙන්ම  කොරෝනා තත්ත්වය නිසා රජයේ රස පරික්ෂකවරයා පවසා තිබුණා ද දන්නේ නැහැ මේ හෙරොයින් ඔවුන් සතුවම තබා ගන්නා ලෙසට. එසේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කළ යුතුයි නේන්ද?

 අධිකරණය : රස පරීක්ෂකවරයා එහෙම දෙයක් ලිඛිතව දැනුම්  දීලා තිබෙනවා ද කියලා වහාම හොයා බැලිය යුතුයි. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් දේපළ සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු වෙත නියෝගයක් නිකුත් කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදිය. . ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම්වලට අදාළ නියෝග නිකුත් කරමින් සැකකරුවන් ලබන 08 වැනිදා අධිකරණයට  ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කළේය.

සැකකරුවන් 13 දෙනා එදින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද අධිකරණය නියෝග කළේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී අවි ආයුධ රැස් කිරිම,මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අධාර අනුබල දිම, සැලසුම් කිරිම, කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදුකරමින් මහජන සාමයට උපද්‍රව කිරිම හා සමාන්‍ය ජන ජීවිතය කඩා කප්පල් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරික්ෂණය දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

-නිමන්ති රණසිංහ-