සැකකාර නාකොටික් නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් නොකර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ කාමරයේ රඳවා තබාගෙන සිටි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 340ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 60කට ආසන්න ප්‍රමාණයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂකවරයා වෙත ඊයේ (20) භාර දුන්නේය.

විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්ඩායමක ආරක්ෂාව මැද බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පොලිසැක් මලු 15 ක් ඊයේ (20) පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැගෙන යන ලදී.

සැකකාර නාකොටික් නිලධාරීන් වැටලීම්වලින් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500කට වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ කාමරය තුළ ඇති බවට සඳහන් කරමින් එහි ස්ථානාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව කළ දැනුම් දීම මත ඉකුත් ජුලි මස 24 වැනිදා එම නඩු භාණ්ඩ කාමරය මුද්‍රා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

ඒ අනුව, ඉකුත් 10 වැනිදා හෙරොයින් අඩංගු පොලිසැක් මලු අටක හෙරොයින් කිලෝ 205ක ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රජයේ රස පරික්ෂකවරයා වෙත එලෙස භාර දෙන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුද්‍රා තබා තිබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ කාමරය ඉකුත් 09 වැනිදා රජයේ රස පරික්ෂිකා ගෞරි රම්‍යා මහත්මිය විසින් පරීක්ෂා කරනු ලැබුවාය.

මෙම හෙරොයින් සම්බන්ධ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරීක්ෂකවරිය වෙත නියෝගයක් නිකුත් කළේ ඉකුත් 07 වැනිදාය.

නාකොටික් නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩවල මුද්‍රා තබා තිබුණේද? ඒවාට ආගන්තුක ද්‍රව්‍යයක් මිශ්‍රකර තිබුණේද? මත්ද්‍රව්‍ය පාර්සල් කඩා නැවත මුද්‍රා තබා තිබුණේද? ආදී වශයෙන් ප්‍රශ්න හයකින් යුත් ප්‍රශ්නාවලියකට පිළිතුරු සපයන ලෙසට අධිකරණය රජයේ රස පරීක්ෂකවරියට එම නියෝගයෙන් දැනුම් දී තිබිණි.

- නිමන්ති රණසිංහ -