වායු රයිපලයකින් වෙඩි කෑවේ යැයි කියන වඳුරකු අනුරාධපුර, යාපන හන්දිය ප්‍රදේශයේ පදිංචි දොළොස් දෙනකුගේ පාද හා පිටුපස ප්‍රදේශය සපා කෑමේ පුවතක් වාර්තා විය.
මෙම සිද්ධිය වාර්තා වීමත් සමගම යාපන හන්දිය ප්‍රදේශයේ වම්බටු වගාවක් කරන ගොවි මහතකු වන යාපනය හන්දිය,
අනුරාධපුර පදිංචි සී.කේ. උදයරත්න (49), කාන්තාවන්ගේ පිටුපස සපා කන මෙම වඳුරා සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
“දැනට සති දෙක තුනකට පමණ ඉහත දී මගේ බටු කොටුවේ බටු අස්වැන්නක් නෙළීමටයි තිබුණේ. ඒ වෙලාවේ වඳුරෝ රැලක් ඇවිත් අපේ බටු කොටුවේ තිබුණ ගෙඩි සියල්ලම කඩා සපා කා, විනාශ කළා.

මෙම බටු වගාව කළේ මගේ මිත්‍රයකු වන චමින්ද සමගයි. බටු වගාව විනාශ කරන නිසා මා හට අයිති වායු රයිෆලයෙන් වඳුරන් ඉන්න  දිසාවට වෙඩි තැබුවා. ඒ වඳුරු රැළේ හිටපු එක වඳුරෙකුට උණ්ඩයක් වැදුණා. ඌ විසිවී වැටුණා. ඉන් පස්සේ එම සතා අපට කෑකෝ ගසමින්, විරිත්තමිත්, අපට හිරිහැර කරන්න පටන් ගත්තා. ඊට දිනකට පමණ පසු මෙම වඳුරු රැළ ප්‍රධාන පාරෙන් පිට පැත්තට පැන ගොස් දොළොස් දෙනකුට ආසන්න ප්‍රමාණයකගේ පාදවලට හා කාන්තාවන්ගේ පිටුපස ප්‍රදේශය සපා කා තිබෙනවා. බොහෝ දෙනෙක් රෝහල් ගත කරමින් ශල්‍යකර්මවලට ද භාජනය කර තිබෙනවා. මේ පිළිබඳව අපි අනුරාධපුර වනජීවී කාර්යාලයට දැනුම් දුන්නා. එම නිලධාරින් අවස්ථා කීපයකදීම ඇවිත්, එම වඳුරා අල්ලා ගැනීමට උත්සාහ කළා. මෙතෙක් අල්ලා ගන්න හැකියාවක් වුණේ නෑ.

ඊයේ හවස වෙන විට ගරාජ් එකේ හිටපු තුන් දෙනකු සපාකෑමට පැන්න බව දැන ගැනීමටත් ලැබුණා. මේ වූවිට දරුවන් පස් දෙනකු ඇතුළු තුවාලකරුවන් දොළොස් දෙනෙක් ඉන්නවා. අපි ඉල්ලා හීටින්නේ මෙම වඳුරා අල්ලාගෙන මෙම ගම් පියසෙන් ඉවත් කරන ලෙසයි." යනුවෙන් එම ගොවි මහතා සඳහන් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අංක දහය, යාපනයේ පාර ලිපිනයේ පදිංචි ජී. නිමල් යන  සිවිල් ආරක්ෂක නිලධාරියා දුරකථනයෙන් කියා සිටියේ මේ වන විට කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක තමන්ට සේවය කරන බවත්, එවැනි අවස්ථාවක මෙවර උසස් පෙළ හදාරන තම දියණියගේ පාදයට වඳුරකු විසින් බරපතළ ලෙස තුවාල සිදු කළ හෙයින් සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප වතාවක්ම දැනුවත් කළ බවය. මෙතෙක් එමට වඳුරා අල්ලා ගැනීමට නොහැකි බව ද කියා සිටියේය. 

මේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවී අඩවි ආරක්ෂක නිලධාරියා කියා සිටියේ අවස්ථා කිහිපයකම එම වඳුරා අල්ලා ගැනීමට ගිය බවත් සිතා හඳුනා ගත් බවත් එහිදී එම සතා මගහරින බවත්ය. මේ සිද්ධිය සම්බන්ධයෙන් අඩවි ආරක්ෂක නිලධාරීන්ගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේ අනුරාධපුර උලුක්කුලම ප්‍රදේශයේ පිහිටි විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සහය ඇතුව එම සතා ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
(තලාව - උපුල් හේරත් )