නුගේගොඩ ගුවන් පාලම අසලදී රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් දෙසියපනහක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ඇරැවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ‘මැක්කා' නමින් හඳුන්වනු පුද්ගලයකු බව පොලිසිය කියයි..

නුගේගොඩ ගුවන් පාලම අසල සැක කටයුතු ලෙස රැදී සිටි පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ඔහු අත තිබී කේරළ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 250 පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
පොලිස් භාරයට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතරකට අධික බව ද පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශනය කිරීමේ දී මීට වසර කිහිපයකට පෙර සෞදී අරාබි රාජ්‍යයේදීම මංකොල්ලකෑමක් සිදුකොට ඒ සම්බන්ධයෙන් වසර දහයක සිර දඬුවමකට ලක්ව ලංකාවට පැමිණි අයකු බවද තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය කියයි.

සැකකරුට මෙම ගංජා තොගය කිරුළපන ප්‍රදේශයේ පුද්ගලයකු ගෙන දුන් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු. අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනය පවත්වයි. සැකකරු කලක සිට මහරගම නුගේගොඩ
ඇතුළු අවට ප්‍රදේශ රැසකට ගංජා ජාවාරම යහමින් සිදු කර ඇති පුද්ගලයකු බවද පොලිසිය කියයි. සැකකරු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ආසිරි ජයසූරිය මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරිණ පවත්වති.

(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)