නව කොරෝනා ආසාදනය වූ දකුණු අප්‍රිකාවේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනා රෝහල්ගත කර ඇතැයි එරට ජනාධිපති සිරිල් රැමපෝසා පවසයි. ඒ අනුව එරට රැකියා සහ කම්කරු අමාත්‍ය තෙම්බෙලානි න්ෂෙසි සහ පතල් සම්පත් අමාත්‍ය ශ්වේදේ මාන්ටේෂේ මෙම අමාත්‍යවරුන් දෙදෙනාය. පසුගිය සතියේදී ඔවුන් නව
කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබූ අතර, පසුව ස්වයං හුදෙකලා කිරීමකට ලක් කෙරිණි. එහෙත් තත්වය දරුණු වෙද්දී ඔවුන් මෙලෙස රෝහල්ගත කර තිබේ.

 මෙහිදී ඔවුන් දෙදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්, ඔවුන්ට අවශ්‍ය සියලුම ආකාරයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින් ඔවුන් සැමවිටම නිරීක්ෂණය කරන බවත් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. මේ වනවිට අප්‍රිකානු මහාද්වීපයේ වැඩිම නව කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වන රට බවටද දකුණු අප්‍රිකාව හඳුනාගෙන ඇත. ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 372,628ක් වන අතර මේ දක්වා මරණ 5,173ක් සිදුව තිබේ.

මේ අතර බ්‍රසීලයේ අධ්‍යාපන අමාත්‍ය මිල්ටන් රිබෙයිරෝ සහ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය ඔනෙක්සි. ලොරෙන්සෝනී වෙතද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ අනාවරණය විය. මේ වනවිටත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර, ඔවුන් නිවෙස්වල සිට රාජකාරි කරන බව පැවසෙයි. එරට ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝද මේ වනවිට වෛරසය ආසාදනය වී නිවසට වී සිටියි. ඒ අනුව ඔහු ඇතුළුව ඔවුන්ගේ කැබිනට් මණ්ඩලයේ සිවු දෙනෙකු මේ වනවිට කොරෝනා ආසාදනය වී සිටියි.