මාතර රොටුඹ නාපත්ඇල්ල ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක වැඩ සිටි ස්වාමීන් වහන්සේ නමක් ඊයේ (13දා) වතුර ටැංකියකට වැටී අපවත්වී ඇතැයි රොටුඹ පොලීසිය පවසයි.
අපවත්වූ ස්වාමීන් වහන්සේට හීල් දානය රැගෙන ගිය අය ස්වාමීන්වහන්සේ විහාරස්ථානයේ නොසිටි බැවින්
කළ සොයා බැලීමේදී නාන කාමරයේ ඇතුළත වතුර ටැංකිය තුළ වැටී සිටිනු දැක ඒ සම්බන්ධයෙන් පොලීසියට කළ දැනුම්දීම මත පොලීසිය සිරුර සොයාගෙන තිබේ.

ස්වාමීන් වහන්සේ අපවත් වූයේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර නෑමට ගිය අවස්ථාවේ වතුර ටැංකියට වැටී අපවත්වූවාද එසේ නොමැතිනම් ඝාතනයක්ද යන්න පිළිබදව සොයා බැලීම සදහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙලස අපවත් වී ඇත්තේ, රොටුඹ නාපත්ඇල්ල දික්හේන විහාරගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ ආරණ්‍යසේනාසනාධිපති පූජ්‍ය පනාකඩුවේ චන්දිම (අවු.44) නමැති හිමිනමකි.

අපවත්වූ ස්වාමීන් වහන්සේ පමණක් ආරණ්‍ය සේනාසනයේ වැඩ සිට ඇති අතර, පෙරේදා (12දා) රාත්‍රියේද ආරණ්‍ය සේනාසනයේ ගුවන්විදුලි යන්ත්‍රයේ හඩ ඇසුණු බවට අසල්වැසියෝ පවසති.
මාතර සොකෝ නිලධාරින් පැමිණ නාන කාමරයේ කඩා ඇතුළුවී ස්ථානීය පරීක්ෂණය පැවැත්වූ අතර, බෙංගමුව හදිසි මරණ පරීක්ෂක සූරියබණ්ඩාර මහතා ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර මාතර මහරෝහලට යැවීමට කටයුතු කෙරිණි.

 සිද්ධිය සම්බන්ධයෙන් රොටුඹ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.පී.ඒ. සනත් කුමාර මහතාගේ‍ උපදෙස් මත උපපොලිස් පරීක්ෂකවරුන් වන සමන් කුමාර, විජේවර්ධන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(ඌරුබොක්ක-ඩි.ඒ.පතිරණ /කොලොන්න -ජේ නානායක්කාර)