මාරවිල ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක පූජකවරයකුගේ හදිසි මරණයට පෙර කොවිඩ් 19 වයිරසය ආසාදිත රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ආදාහනය කිරීමට මාරවිල රෝහල් හදිසි මරණ පරීක්ෂක දුන් තීන්දුවට එම ප්‍රදේශයේ පූජකතුමන්ලා සහ පුද්ගලයන් පිරිසක් විරුද්ධ වී ඇත. මේ හේතුවෙන්
එම මෘත ශරීරය පෙරේදා (12දා) සිට මේ දක්වා මාරවිල රෝහලේ තැන්පත් කර ඇති බව මාරවිල පොලිසිය පවසයි.
මෙම පූජකවරයා 2020-7-12 දින පෙරවරුවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රාථමික සත්කාර ඒකකයේදීම මියගොස් ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මාරවිල රෝහලේ හදිසි මරණ පරීක්ෂක නිහාල් පද්මසිරි ගරුසිංහ මහතා ඉදිරියේ කළේය. වෛද්‍ය පරීක්ෂණය මාරවිල රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් ලංසක්කාර මහතා විසින් සිදු කරනු ලැබීය.

වෛද්‍ය මතයට අනුව මියගිය පූජකවරයාට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බවට සැක කරයි. එය පරීක්ෂාවට ලක් කළයුතු බවට තීරණය කර ඇත.

නමුත් මරණ පරීක්ෂක රටේ පවතින නීතිමය තත්ත්වයට අනුව මෙම මෘත ශරීරය ආදාහනය කළයුතු බවට අගතියට පත් පාර්ශ්වයට දන්වා ඇති නමුත් එම පාර්ශ්වය ඊට එරෙහි වීමෙන් මේ වන තෙක් මෘත ශරීරය රෝහලේ මෘතශරීරාගායේ රඳවා තබා ඇත.

මෙම මෘතශරීරය සම්බන්ධයෙන් ජෛව සාම්පල් කොටස් රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිත බව මාරවිල රෝහල් අධ්‍යක්ෂිකා දර්ශිකා සිරිවර්ධන මහත්මිය පවසන්නීය. මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂක පවසා සිටින්නේ රටේ පවතින නීතියට අනුව තම තීන්දුව දුන් බවත්. කෙසේ වෙතත් බැරි වෙලාවත් මියගිය අය කොවිඩ් -19 ආසාදිතයෙක් නම් තත්ත්වය මීට වඩා බරපතළ විය හැකි බවයි.

වීහේණ _ අනුරාධ