මෙවර මහමැතිවරණයට අනුරාධපුර එජාප අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා නැවතත් ආන්දෝලනාත්මක පුවත් මවමින් ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් ඉල්ලා කළ තර්ජනයක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ඇරඹී ඇත.

තම පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් අවශ්‍ය බවත් රුපියල් ලක්ෂයක් දෙන ලෙසත්
බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි සදුන් මාලින්ද තේනුවර නැමති ආනයන කේෂ්ත්‍රයේ නිරත ව්‍යාපාරිකයෙකුට ඔහු තර්ජනය කර තිබේ. මාලක සිල්වා තමන්ට තර්ජනය කළ බවට ඒ කියන ව්‍යාපාරිකයා ඉකුත් 10 වනදා තලංගම පොලිසියට පැමිණිල්ලක් යොමු කර තිබේ.

තර්ජනය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනිමට අවශ්‍ය අධිකරණ විධිවිධාන සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අදිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිසියෙන් වාර්තාවෙයි.අධිකරණයෙන් ලබා ගන්නා දුරකතන වාර්තා මත මරණ තර්ජන සිද්ධියට මාලක සිල්වා අත්අඩංගුවට ගැනිම විමර්ශන අරඹා ඇත.

මාලක සිල්වා විසින් කප්පම් ඉල්ලා තර්ජනය කිරිම සම්බන්ධව පැමිණිල්ල  කළ ව්‍යාපාරිකයාට ජුනි මාසයේ සිට වරින්වර දුරකතන ඇමතුම් හා එස් එම් එස් පණිවුඩ එවා ඇතැයිද වැඩිදුර සටහන්ව ඇත.

මාලක සිල්වාගේ මිත්‍රයෙකු යොදවා මුලින් ඡන්ද ව්‍යාපාරය සඳහා රුපියල් ලක්ෂයක් ඉල්ලා තිබී ඇති අතර පසුව එයට යහපත් ප්‍රතිචාර නොදැක්වූ පසු මාලක සිල්වා සෘජුවම ඔහුට කථාකරන්නට පටන් ගත් බවත් තර්ජනය කළ බවත් පැමිණිලි කර ඇත. ඊට අමතරව මාලක සිල්වාගේ ෆේස් බුක් ගිණුමේ තමාගේ ඡායාරූපයක් පළ කර 'මොහුව සොයා දෙන්න' ලෙසට සටහනක් දමා තිබූ බවද පැමිණිලිකරු පොලිසියට දන්වා ඇත.

තොරතුරු - තිස්ස රවීන්ද්‍ර පෙරේරා