'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වන මනුෂ්‍ය සිරුරේ ප්‍රතිශක්තියක් ඇති කිරීමට සමත් සාර්ථක එන්නතක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පරීක්ෂකයන් නිපදවා ඇතැයි එරට පුවත් සේවා ඊයේ (21) වාර්තා කළේය.
මෙම එන්නත හරහා වයිරසයෙන් ආරක්ෂා වීමට සිරුරේ ප්‍රතිශක්තියක් නිර්මාණය වන බව තහවුරු කර ගැණුනේ තෝරා ගත් 1,077 දෙනකුට එය එන්නත් කර බැලීමෙන් පසුවය. මෙම ඔක්සෆර්ඩ් එන්නත දැනට
හැඳින්වෙන්නේ 'වැඩ්ඔක්ස්1 කො19' යන නමිනි. එන්නත නිපදවීමේ දී ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන්ට බ්‍රිතාන්‍ය රජයේත්, වෛද්‍ය සංගමයේත් අනුග්‍රහය සහ සහාය හිමිවෙයි.

 මෙම නව එන්නතේ කිසිදු අතුරු ආබාධයක් නැත. කෙසේ නමුත් එන්නත ලබා දුන් සියයට 70 කට උණ, හිසරදය ඇතිවිය. ඒ සඳහා පැරසිටමෝල් ලබා දීම සිදුවිය. දිනක් හෝ දෙකක් යද්දී උණ සහ හිසරදය සමනය වූ බව වෛද්‍ය පර්යේෂකයෝ ඔවුන්ගේ පර්යේෂණ වාරතා එළිදක්වමින් ප්‍රකාශ කළහ.

 මෙම එන්නත තවත් අත්හදා බැලීම් කීපයකට යොදා ගන්නා බවත්, ඉන්පසු සියලු ප්‍රතිඵල යළි යළිත් අධ්‍යනය කර එන්නත වෙළඳපොළට නිකුත් කිරිම හෝ නොමිලේ බෙදා හැරිම හෝ සිදුවනු ඇති බවත් පැවැසෙයි. මේ සියලු කටයුතු අවසන් වීම සිදුවනු ඇත්තේ ලබන 2021 වසර අවසානයේ දී යැයි ද පැවැසෙයි.

එන්නත සම්බන්ධයෙන් අවසන් අදියරේ සිදුවන අත්හදා බැලීමේ දී එය බ්‍රිතාන්‍ය වැසියන් 10,000 කට ලබා දීමට නියමිත බව ද වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.  බ්‍රිතාන්‍ය රජය මේ වනවිටත් මෙම නව එන්නතින් එන්නත් මිලියන 100 ක් බ්‍රිතාන්‍ය වැසියන් වෙනුවෙන් ඇණවුම් කර ඇති බව ද වාර්තා වෙයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අමතරව, මහා බ්‍රිතාන්‍යයේ තවත් ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක් ද කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නතක් නිපදීම කෙරෙහි යොමු වී සිටී.  එම සමාගම් වන්නේ බයෝටෙක් ෆිල්සර් සහ
වැල්නේවාය. බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කර ඇති අන්දමට, මෙම සමාගම් නිර්මාණය කරමින් පවතින එන්නත් ද අවසන් අදියරට ළං වී ඇති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ රටවල් 23 ක්, එනත් 96 ක් නිර්මාණයට දායක වී සිටින බවත්, තවත් එන්නත් 140 ක් නිර්මාණය සඳහා වෛද්‍ය පර්යේෂකයන් සහ වෛද්‍ය සමාගම් යොමු වී සිටින බවය. ඔක්ස්ෆර්ඩ් එන්නත සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ (21) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පැවැසීය. ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක වන බවක් පෙනෙනවා. එයින් අදහස් වන්නේ එන්නතක් නිපදවා ඇතැයි යන්න නොවෙයි. තවමත් කොරෝනා නසන්න හෝ කොරෝනාවලින් ආරක්ෂා වෙත හෝ එන්නතක් නැහැ.යැයි අගමැති බොරිස් ජොන්සන් පැහැදිලි කළේය.

මේ අතර කොවිඩ් 19 වයිරසය ආසාදනය වී මරණාසන්න තත්වයේ පසුවන රෝගීන් වෙනුවෙන් නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් සමත් වී ඇති බව වාර්තා වේ.

එස්.එන්.ජී 001 යන නමින් හැඳින්වෙන මෙම ඔසුව වාතය හරහා පැතිර යෑමට සලස්වන, කෙළින්ම පෙනහළුවලට බලපෑමක් කරන ප්‍රතිකර්මයකි. අසාධ්‍ය 'කොවිච් 19' රෝගීන් 100 දෙනකු තෝරා ගනිමින් මෙම ප්‍රතිකාරය ලබා දී ඇති අතර, ඔවුන්ගෙන් 79 දෙනකුගේ තත්ත්වය යහපත් අතට පරිවර්තනය වී ඇත. මෙම ඔසුව බ්‍රිතාන්‍යයේ 'සිනර්ජන්' නමැති ඖෂධ සමාගමේ නිර්මාණයකි.

ලන්ඩනයේදීය(රොයිටර්)