පෙම්වතියගේ උපන්දිනය සැමරීමට ඇගේ ඇරයුමෙන් නිවසට ගෙන්වාගත් පෙම්වතාවට දරුණු ලෙස පහරදී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක්  සම්බන්ධයෙන් පෙම්වතියගේ පියාත් ඇගේ සොහොයුරාත් ඉකුත්දා  (11) අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය පවසයි.
දහඅට හැවිරිදි තරුණියක තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඉකුත් 10 වැනිදාට යෙදුණු පෙම්වතියගේ උපන් දිනය සැමරීමට තම නිවසට පැමිණෙන ලෙසට පෙම්වතාට දුරකථනයෙන්ම ඇරයුමකර ඇගේ නිවසේ කුස්සියේ දොරද බාගෙට අඩවල්කර තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව 11 වැනිදා අලුයම 2.00ට පමණ පෙම්වතියගේ නිවසේ කුස්සියේ දොරෙන් රහසේම ඇතුළුවී ඇති පෙම්වතා පෙම්වතියගේ කාමරයේ පෙම්බස් දොඩමින් සිටින ශබ්දය තරුණියගේ පියාට ඇසී වහා නින්දෙන් අවදි වූ ඔහු දුවගේ කාමරය තුළට එබී බලදී දෙදෙනා පෙම්සුව  විඳිමින් සිටින අයුරු දැක ඇති බව පොලිසිය කළ මූලික පරික්ෂණවලින් හෙළි වී ඇත.
 මෙය දැකීමෙන් කෝපයට පත් පියා පෙම්වතාවට පහර දීමට කාමරයකට දමා සිරකර සිද්ධිය ගැන රත්නපුරේ සිටින ඔහුගේ පුතාට දුරකථනයෙන් දැන්වීමෙන් පසු ඔහු තවත් දෙදෙනෙකු සමග වාහනයකින් පැමිණ කාමරයේ සිරකර සිටි තරුණයා එළියට ගෙන වාහනයේ නංවාගෙන ගොස් අතරමගදී ඔහුට දරුණු
ලෙස පහරදී මහ මග දමා ගොස් සිටියදී මහත් අමාරුවෙන් පැමිණ කහවත්ත රෝහලට ඇතුළත් වී ඇතැයි පොලිසිය කියයි.  මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පෙම්වතියගේ පියාත්, සොහොයුරාත් පැල්මඩුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  ඔවුන් දෙදෙනා මේ මස 22 වැනි  දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කර  ඇති බවත් සෙසු සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් පැමිණි වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් ක්‍රියා කරමින් සිටින බවත්
 පොළිය පැවසීය.
 රක්වාන පොලිසියේ උපපොලිස් පරික්ෂක බී. නවරත්න මහතා සමග පොලිස් සැරයන්වරුන් වන 3883 නන්දන සහ 7661 ආනන්ද යන නිලධාරින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පවත්වමින් සිටී.

(රක්වාන - ඩබ්ලිව්.ඒ. සිරිසේන )