තා සාර්ථක ලෙස කොරෝනා මර්දනය කළ බවට මින් ඉහත වර්ණනාත්මක විස්තර පළවූ
ඉන්දියාාව් කේරළයේ ඇතැම් ස්ථානවල නැවතත් කොරෝනා දරුණු ලෙස පැතිර යන බව මේ වනවිට වාර්තාවේ. මේ හේතුවෙන් ඉන්දියාවට දකුණට වෙන්න පිහිටා තිබෙන වෙරළාශ්‍රිත නගරයක් වන කේරළයේ ජනයා තුළ මෙම දිනවල කනස්සල්ලක් සහ ව්‍යාකූලතාවයක්
දක්නට ලැබේ.
ත්‍රිවාන්ද්‍රම් නම් අගනගරයට අසල්වැසි පූන්තුර නම් ධීවර ගම්මානයේ වෙසෙන පවුල් 4000ක් නිවසේ රැඳී සිටින ලෙස පනවන ලද දැඩි නීතිවලට යටත්ව සිටී. කිසිම පුද්ගලයෙකුට එම ප්‍රදේශයට ඇතුල් වීමට හෝ පිට වීමට අවසර නොමැතිය. ව්‍යාපාර ස්ථාන වසා දමා ඇති අතර ගමනාගමනය නැවතී ඇත. බරපතළ අගුළු දැමීමක් ක්‍රියාත්මක කිරී‍මේ අරමුණින් පොලීසිය වීදි සංචාරය කරනු දක්නට ලැබෙයි.
අරාබි මුහුදට ආසන්නයේ තියෙන පූන්තුරට අයත් අධික ජනගහනයක් ජීවත් වන ගම්මාන කිහිපයක ජීවත් වූ 100ට වැඩි පිරිසකට මේ මාසය මුලදී කෝවිඩ්-19 ආසාදනය වූයේ ඔවුන්ගෙන් කිහිපදෙනෙකු මාළු වෙළඳ සැලකට ගොස් පැමිණි පසුවය. වෛරසය මැඩපැවැත්වී ඇතැයි මැයි මාසයේදී පෙනෙන්නට තිබුණද මෙම නව ආසාදිතයන් හේතුවෙන් වෛරසයේ නැඟීමක් සිදු විය.
“මිනිස්සු අන්දුන්කුන්දුන් වෙලා. තනි වෙලා. පීඩනයට පත් වෙලා. එකවරම සිදු වූ දෙයට මුහුණ දීම ඔවුන්ට අපහසුයි” දේවගැතිවරයෙක් වන බෙබින්සන් පැවසීය.
එය සැබෑවක්ය.
පසුගිය මාස දෙක තුළදී කේරළයට එතරම් විශාල කොරෝනා සටනක් නොමැති බව පෙනෙන්නට තිබුණි. නමුත් පසුගිය සති කිහිපය තුළදී නව ආසාදිතයන් ශීඝ්‍රයෙන් වාර්තා වූ අතර ධීවර ප්‍රජාව මගින් දැන් එය සමාජයේ පැතිර යන බව ප්‍රාන්ත රජය පෙන්වා දේ.
“දේශ සීමාව වසා තිබියදී කොරෝනා වෛරසය කේරළයේ මැඩ පැවැත්වී තිබිණ” වොෂින්ටන් පදනම් කරගත් බෝ වන රෝග විශේෂඥයෙකු වන වෛද්‍ය ලාල් සදාසිවන් විසින් මෙම පුවත් වාර්තාකරු හට පවසා තිබේ.
කේරළයේ පළමු කෝවිඩ්-19 ආසාදිතයා වාර්තා වූයේ ජනවාරියේදීය. ඒ මෙම වසංගතය ආරම්භ වූ චීනයේ වූහාන් සිට පැමිණි වෛද්‍ය ශිෂ්‍යයෙක්ය. ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ඉන්දියාව කොරෝනා තිප්පොළක් බවට පත් විය. මාර්තු මාසය වන විට මනස්කාන්ත කේරළයට වඩා ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවලින් වාර්තා වන්නට පටන්ගන්නා ලදි.
නමුත් මැයි මාසය වන විට පරීක්ෂණ පැවැත්වීම, සමාජ සබඳතා පිළිබඳ සොයාබැලීම, රෝගීන්ව වෙන් කර තැබීම වැනි පියවර හේතුවෙන් කේරළයේ ආසාදිතයන් සංඛ්‍යාව පහත වැටුණි. නව ආසාදිතයන් වාර්තා නොවූ දිනද විය. මේ පිළිබඳව පුවත්පත් ශීර්ෂපාඨවලට පවා සඳහන් විය. අසාදිතයන් දැක්වෙන ප්‍රස්තාරයේ වක්‍රය පැතලි හැඩයක් ගැනීම පිළිබඳව බොහෝ කතන්දරද සෑම තැනම පළ විය. “කේරළය ආශ්චර්යයවත් ලෙස වෛරසයෙන් ජය ගෙන තිබෙනවා කියලාත් කිව්වා මට මතකයි” ප්‍රමුඛ පෙළේ වසංගත රෝග විද්‍යාඥයෙක් වන ජයප්‍රකාශ් මුලියිල් පවසයි.
නමුත් මෙසේ ජයග්‍රහණයක් සැමරීම එතරම් අවබෝධයක් නොමැතිව සිද්ධ වූවක්ය. කේරළයේ මුල් ආසාදිතයන් 1000 වාර්තා වීමට දින 110ක් ගත විය. ජූලි මැද වන විට කේරළයෙන් දිනකට ආසාදිතයන් 800ක් පමණ වාර්තා විය. ජූලි 20 වන විට එම කෙර‍ළයේ ආසාදිතයන් 12,000 ඉක්මවූ අතර මරණ 43ක් වාර්තා විය. නිවෙස්වල සහ රෝහල් අධීක්ෂණය යටතේ පුද්ගලයන් 170,000කට වැඩි ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කරන ලදි.
මීට එක් හේතුවක් ලෙස විශාරදයන් පෙන්වා දෙන්නේ අගුළු දැමීමෙන් පසුව රැකියා අහිමි වූ කම්කරුවන් මිලියන භාගයකට ආසන්න ප්‍රමාණයක් මුහුදු බොක්ක ආශ්‍රිත රටවල සිට සහ ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවල සිට කේරළයට ඇතුල් වීමය. කේරළයේ සිටින රැකියාවල හවුල් වන පුද්ගලයන්ගෙන් සියයට 17ක්ම සේවය කරන්නේ ප්‍රාන්තයෙන් පිටතය.
මේ වන තෙක් වාර්තා වී ඇති ආසාදිතයන්ගෙන් 7000කට වැඩි ප්‍රමාණයකට සංචාරයෙහි යෙදීමේ ඉතිහාසයක් තිබේ. “සංචාරය කිරීමේ නීති ලිහිල් කළ පසු බොහෝ පුද්ගලයන් ප්‍රාන්තයට ඇතුල් වීමට පටන්ගත්තා. අසාදිත පුද්ගලයන් ඇතුල් වීම මැඩපැවැත්වීම අපහසු විය” ඉන්දියාවේ විපක්ෂ නායකවරයෙක් වන ශෂී තරූර් ප්‍රකාශ කරයි.
මුහුදු බොක්කාශ්‍රිත රටවල රැකියාවල නිරත වූ පුද්ගලයන් රැගත් පළමු යානය කේරළයට පැමිණි විට තමා අගමාත්‍ය පිනායාරි විජයන් සමඟ ඇති කරගත් කතාබහක් තරූර් සිහිපත් කරයි. “වෛසරය කේරළයට ඇතුල් වීම පිළිබඳව පමණක් නොව ආසාදිත පුද්ගලයන් හේතුවෙන් ගුවන්යානයේ සිටින අනෙකුත් පුද්ගලයන්ටත් රෝගය සම්ප්‍රේශණය වීම පිළිබඳව ඔහු දුක් වූවා” තරූර් සඳහන් කරයි.
“ඉන්දියාවේ තිබෙන තම නිවෙස්වලට පැමිණීමට සෑම පුරවැසියෙකුටම නීත්‍යානුකූල අයිතියක් තිබෙනවා. එමනිසා ඔවුන් අසනීප වුවත් ඔවුන්ගේ පැමිණීම වැළැක්විය නොහැකි බව මගේ අදහසය. නමුත් මේ හේතුවෙන් කේරළයේ පැවති තත්ත්වයේ විශාල වෙනස්කමක් සිදු විය” තරූර් පුවත්පත් කර්තෘවරයාට පැවසීය.
ප්‍රාන්තයට ඇතුල් වූ ආසාදිතයන් හේතුවෙන් වෛරසය සමාජයේ පැතිර යෑමක් දක්වා වර්ධනය විය. මේ හේතුවෙන් මැයි මාසයේ සිට විදෙස් සංචාර පිළිබඳ ඉතිහාසයක් නොමැති රෝගීන් වාර්තා වනු දක්නට ලැබීය. උදාහරණයක් ලෙස ඉරිදා දිනයේ වාර්තා වූ නව ආසාදිතයන් 821දෙනාගෙන් 640කටම රෝගය ආසාදනය වී තිබුණේ සමාජයෙන් බව නිලධාරීහූ සඳහන් කළහ. එමෙන්ම 43දෙනෙකුට රෝගය වැළඳුණේ කොහෙන්ද කියා සොයාගත නොහැකි විය.
අගුළු දැමීම ලිහිල් කිරීම හේතුවෙන් බොහෝ පුද්ගලයන් ඔවුන්ගේ නිවෙස්වලින් පිටතට යෑමට පටන්ගත් අතර ප්‍රමාණවත් ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කර නැත.
ආසාදිතයන් ප්‍රමාණය පහළ ගිය අවස්ථාවේදී පරීක්ෂණ පැවැත්වූ සංඛ්‍යාව අඩු කිරීමද මීට බලපෑ බව ඇතැම් විවේචකයෝ පවසති. නමුත් මෙම දිනවල කේරළයේ දිනකට පරීක්ෂණ 9000ක් සිදු කරන බව වාර්තා වේ. එය අප්‍රේල් මාසයේදී පැවති දිනකට සිදු කළ පරීක්ෂණ 663ට වඩා විශාල වැඩි වීමක්ය.
ආසාදිතයන් ශීඝ්‍රයෙන් වැඩි වන අන්ද්‍රා ප්‍රදේශ, තමිල් නාඩු වැනි ප්‍රදේශවල සිදු වන පරීක්ෂණ මිලියනයට අනුපාතයට වඩා කේරළයේ සිදු වන පරීක්ෂණ ප්‍රමාණය පහළ අගයක් ගනියි. නමුත් මේ වන විට ඉන්දියාවේ විශාලතම කොරෝනා තිප්පොළ බවට පත් වී තිබෙන මහාරාෂ්ට්‍ර ප්‍රදේශයට වඩා කේරළයේ සිදු වන පර්යේෂණ ප්‍රමාණය ඉහළ අගයක් ගනියි.
කේරළය තුළ විවිධ පර්යේෂණ වර්ග ගණනාවක් සිදු කරයි. ඉක්මන් ප්‍රතිදේහජනක සහ ප්‍රතිදේහ පරීක්ෂාවද ඒ අතර වේ. නමුත් මෙම එක් එක් පරීක්ෂණ මගින් කොතරම් ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගැනේද යන්න අපැහැදිලිය. “පරීක්ෂණ පැවැත්වීම වැඩි වී තිබෙනවා. නමුත් ඒවා ප්‍රමාණවත් නැහැ. කිසිම ප්‍රාන්තයක අවශ්‍ය තරමට මහා පරිමාණයෙන් පරීක්ෂණ පැවැත්වීමට අවස්ථාව ලැබී නැහැ” එර්නකුලම් වෛද්‍ය විද්‍යාලයේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය ෆැතහුදීස් එසේ පවසයි.
නමුත් පොදුවේ සලකා බලන කල කේරළය තුළ හොඳ සාර්ථකත්වයක් දක්නට ලැබෙන බව බොහෝ වෛරසවේදීන්ගේ විශ්වාසයය. ආසාදනය වන පුද්ගලයන් අතරින් අඩුම මරණ අනුපාතයක් ඉන්දියාව තුළ දක්නට ලැබෙන්නේ මෙම ප්‍රාන්තයේය. ඉන්දියාවේ වඩාත් කාර්යක්ෂ්ම මහජන සෞඛ්‍ය පද්ධතිය තිබෙන්නේද මෙම ප්‍රාන්තයේ බව කියැවේ. ඔක්සිජන් පහසුකම් සහිත ඇඳන් කේරළයේ ගම්මාන සිය ගණනක කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ලබා දී ඇති බව සඳහන්ය.
එපමණක්ද නොව ආසාදිතයන් දැක්වෙන ප්‍රස්ථාරයේ වක්‍රය පැතලි හැඩයක් ගත් පමණින් ඒ පිළිබඳව මාධ්‍යයේ උදම් ඇනීම නැණවත් ක්‍රියාවක් නොවන බවද කේරළය සියලුදෙනාට අනතුරු අඟවයි.
මැයි මාසයේදී කේරළයේ දින කිහිපයක් පුරාවට නව ආසාදනයන් වාර්තා නොවීය.
ආසාදන ප්‍රමාණය අඩු කරගැනීම කාලයක් පුරාවට වෑයම් කිරීම සිදු වන බව විශාරදයෝ පවසති. මේ පිළිබඳ හොං කොං විශ්වවිද්‍යාලයේ බෝ වන රෝග පිළිබඳ විශේෂඥයෙකු පැවසුවේ “වෛරසයට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය විශාල පිරිසක් තුළ වර්ධනය වන තෙක් තහංචි ලිහිල් කරමින් නැවත පනවමින් ලිහිල් කරමින් නැවත පනවමින් සිටිය යුතු” බවය.
“කොරෝනා සමඟ සටන ට්‍රෙඩ්මිල් එකක් පැදීම වැනිය. වෛරසයේ වේගය වැඩි වෙද්දී ඔබටත් වේගයෙන් දිවීමට සිදු වේ. එය වෙහෙසකරය. නමුත් ඒ හැර වෙන කරන්නට කිසිවක් ඉතිරි වී නැත. එය විඳරාගැනීම පිළිබඳ පරීක්ෂණයක්ය” වෛරසවේදය පිළිබව විශ්‍රාමික මහාචාර්යවරයෙක් වන ටී ජේකබ් ජෝන් පැවසීය.
(බීබීසී ඇසුරිනි)
එස්. දහනායක