කුඨ ලෙස සකස් කළ ලියකියවිලි ඉදිරිපත් කරමින්, වෙළෙඳ නැවක සේවය කරන නැවියකු ලෙස පෙනී සිටිමින්, යුරෝපයට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙක් ඊයේ (28) අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරින් පිරිසක් වීසින් අත්අඩංගුවට ගනු ලැබීය. මොහු 36 හැවිරිදි යාපනය, කෝපායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු  ඊයේ (28) අලුයම 3.15ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යන කටාර් ගුවන්  සේවයේ කිව්. ආර්. 669 දරන ගුවන් යානයට
කටුනායක ගුවන් තොටුපළ  වෙත පැමිණ තිබූ බව මෙම නිලධාරිහු කීහ. වෙළඳ නැවක සේවය කිරීම සඳහා යන නැවියකු ලෙස පවසමින් මෙම පුද්ගලයා ද සෙසු නාවිකයන් සමග කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විගමනක අංශය වෙත තම ලියකියවිලි ඉදිරිපත් කර තිබේ. එහිදී ඔහුගේ හැසිරීම් රටාව ගැන සැක සිතු එම ආගමන විගමන නිලධාරින්  ඔහු නැවියකු බවට ඉදිරිපත් කළ ලියකියවිලි තහවුරු කර ගැනීම සඳහා තාක්ෂණික පරීක්ෂාවන්ට යොමු කෙරුණි.


තම රැකියාවට අදාළව ඔහු ඉදිරිපත් කළ වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශය මගින් නිකුත් කෙරෙන, නැවියකු බව සනාථ කෙරෙන සහතිකය, ඇපකරු සහතිකය, නැව් සමාගමකින් ඔහුට රැකියාව ලබා දෙන බවට වන සහතිකය සහ නැවියෙකු ලෙස පුහුණුව ලද බවට වන සහතිකය ද ඒ අතර වූ බව දේශසීමා ආවේණෙ නිලධාරීහු පැවසූහ. කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය සතු ලේඛන පරික්ෂණාගාරයේ දී සිදු කළ මෙම තාක්ෂණික පරික්ෂණවලදී, මොහු ඉදිරිපත් කළ මෙම සියලු ලිපි ලේඛන කූට ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට  තහවුරු විය.  එහිදී මෙම පුද්ගලයාගෙන් මේ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, මෙම ලියකියවිලි තමාට රැකියා නියෝජිතවරයකු විසින් සකස් කර දුන් බව ප්‍රකාශ කර තිබේ.  තමත් දෝහා සිට වෙනත් ගුවන් යානයකින් යුරෝපය වෙත ගමන් කිරීමට සැළසුම් කර ගෙන සිටි බව ද වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර තිබේ. පසුව මෙම පුද්ගලයා ඔහු ඉදිරිපත් කළ මෙම ලියකියවිලි ද සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත‍ෙ නිධාරීන් වෙත භාරදී තිබේ.

-ටී.ජී.කපිල-