මනුෂ්‍ය වර්ගයාට මුහුණ දීමට සිදුවුණු දරුණුතම සෞඛ්‍ය ගැටලුව කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස වසංගතය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙද්‍රෝස් ඇඩිහැනොමි ගෙබ්‍රියේසිස් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව කියා සිටියේ, කොවිඩ් 19 වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවේදීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ජිනීවා නුවරය. “මනුෂ්‍ය වර්ගයා නොයෙක් විදියේ ව්‍යසනවලට, කේදවාචකවලට මුහුණ දී තිබෙනවා. අභියෝග ජයගෙන තිබෙනවා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ඒ සියල්ල අභිබවා ගොස් තිබෙනවා. මානව වර්ගයාට මුහුණ දෙන්න සිදුවුණු දරුණුතම සෞඛ්‍ය ගැටලුව වන්නේ මෙයයි" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ගෙබ්‍රියේසිස් පැහැදිලි කළේය.

“කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් අපට ගැලවුමක් නැහැ. වෛරසය මර්දනයට එක්නතක් නිපදවූවත්, වෛරසය කාලයෙන් කාලයට හිස ඔසවාවි. ඒ නිසා වෛරසය සමඟ ජීවත් වෙන්න අප හුරු විය යුතුයි. සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැලඳීම සහ අත් නිතර පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත්" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් අවධාරණය කළේය.

‘කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන 16,500,000 පසු කර ඇත. මරණ වාර්තා වන්නේ 6 50,000 ක් ලෙසය. වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 10 113,000 කි.