කොළඹ පිහිටි බන්ධනාගාරවල තාප්පයට පිටින් කලක පටන් සංවිධානාත්මකව තහනම් භාණ්ඩ පාර්සල් විසිකර ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගන්නා 12 දෙනාගේ කල්ලියක් මෙහෙයවූ බොරැල්ලේ ලොක්කා නමැත්තා ඊයේ (28) අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පචසයි.
කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පයට පිටතින් තහනම් භාණ්ඩ පාර්සලයක් දමද්දීම කොටුකරගෙන ඇතැයි පොලිසිය පවසයි.

සීවලී පටුමග ප්‍රදේශයේ පදිංචි මොහු 31 හැවිරිදි බව ද පොලිසිය කියයි. මෙම පාර්සලයේ තිබී මක්කුඩු ග්‍රෑම් 10ක්, ජංගම දුරකතන 4ක්, බැටරි 7ක්, දුම්කොළ තොගයක්, පිසින ලද කරවල පාර්සලයක්, තේ කොළ හා වේදනා ආලේප බෝතලයක් (බාම්) තිබී හමුවී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

මොහු මෙම තහනම් භාණ්ඩ විසිකිරීම කාලයක පටන් සිදුකර ඊසි කෑස් ක්‍රමයට මුදල් ලබාගෙන ඇතැයි ද ඊයේ තහනම් භාණ්ඩ දමා ඇත්තේ 18 වැනි වතාවට බව ද පරික්ෂණවලදී හෙළිවී තිබේ.

දැනට මෙම 12 දෙනාගේ කල්ලියේ සැකකරුවන් 9 දෙනකු පොලිසිය විසින් වනාතමුල්ල සීවලී පටුමග ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවන් දෙදෙනකු ඇතුළු තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ඇතැයි පොලිසිය සඳහන් කරයි. බොරැල්ල පොලිස් ස්ථානාධිපති දුමින්ද බාලසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

- ජයන්ත සමරකෝන් -