කළුතර අධිකරණය ඉදිරිපිට ඉකුත්දා (27) සවස නතර කර තිබූ බන්ධනාගාර බස් රථයේ සිටි රැඳවියන්ට දුම් කොළ කැබැලි විසි කර පලා යමින් සිටි පුද්ගලයකු ලුහුබැඳ ගොස් පොරබදා අල්ලාගෙන ඇති අතර
එහිදී තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයා කළුතර නාගොඩ මහ රෝහලේ අංක තුන වාට්ටුවට ඇතුළත් කර ඇත.

පොරබැදීමෙන් සහ බිම ඇදවැටීමක් සිදුවූ තුවාල හේතු කොටගෙන මෙසේ රෝහල්ගත කර ඇත්තේ ඩිලාන් රේණුක වික්‍රමතිලක නම් වූ බන්ධනාගාර නියාමකවරයෙකි. නඩු කටයුතු සඳහා කළුතර අධිකරණයට ගෙන එන ලද රැඳවියන් ආපසු බන්ධනාගාරය වෙත ගෙන යාම සඳහා බන්ධනාගාර බස් රථයට නංවා සිටියදී මොහු බස් රථය තුළට දුම්කොළ කැබැලි විසි කර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

බන්ධනාගාර නියාමකවරයා මොහු අල්ලා කළුතර දකුණ පොලිසියට භාරදී ඇති අතර මොහු පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. සැකකරු පෙරේදා (28) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

- සුනිල් එස් තන්ත්‍රීආරච්චි -