යතුරුපැදි ආනයනයට පනවා තිබූ තහනම දින නියමයක් නැතිව දිර්ග කිරීම නිසා දිවයින පුරා යතුරුපැදි අලෙවි නියෝජිතයන් ඇතුළු යතුරුපැදි ක්ෂේත්‍රයේ ලක්ෂ පහකට වැඩි පිරිසකගේ ජීවනෝපාය දැඩි
අවදානමකට ලක්ව ඇතැයි කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් නව යතුරුපැදි අලෙවි නියෝජිත සංගමයේ සභාපති චමින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ පිරිසට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නියෝජනය කරන යතුරුපැදි අලෙවි නියෝජිතයන්, සේවා නියෝජිතයන්, කඩ හිමියන් එම අංශයේ වැඩ කරන සේවකයන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් ඇතුළත් වන බව ද ඔහු කීය.

ප්‍රනාන්දු මහතා මේ බව පැවැසුවේ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයේ දී පෙරේදා (28) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය. චමින්ද්‍ර ප්‍රනාන්දු මහතා එහිදී මෙසේ ද පැවසීය.

රජය යතුරුපැදි ආනයනය මුලින්ම නැවැත්වූයේ මාස තුනකටයි. මේ වන විට එය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. රටේ යතුරුපැදි තොග ප්‍රමාණවත් වන්නේ මේ මස අලෙවියට පමණයි. මේ තත්ත්වය යටතේ අගෝස්තු මාසයේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මේ තත්ත්වය දිගටම පැවතුණහොත් ඒ ව්‍යාපාරික ස්ථානවල සේවකයන්ගේ වැටුප් දීමනා හා කඩ කුලී ගෙවීම ද ප්‍රශ්නයක් වෙනවා. මැතිවරණයට පෙර අප මේ සම්බන්ධයෙන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා. මේ කාරණය ගැන සාකච්ඡා කිරීමට අවස්ථාව දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. යතුරුපැදි ආනයනය නැවැත්වීම රජයට ද ලොකු පාඩුවක්. රටේ දෙවැනි බදු ආදායම ලැබෙන්නේ ද යතුරුපැදි ආනයනයෙනුයි. යතුරුපැදිය අද කොරෝනාවටත් හොඳ විසඳුමක්. දුරස්ථභාවය රැකගෙන ගමන් කළ හැකි වාහනයක් ලෙස එය කැපී පෙනෙනවා. මේ තත්වය යටතේ රජය කළ යුත්තේ ඒ වාහනය ප්‍රවර්ධනය කිරීම මිස අධෛර්යය කිරීම නොවෙයි.

මම හිතන්නේ මේ ප්‍රශ්නයේ බරපතළකම ජනාධිපතිතුමාට තවමත් හරියට සන්නිවේදනය වෙලා නැහැ. එය හරියට සන්නිවේදනය වුවහොත් එතුමා හොඳ තීරණයක් ගනීවි කියලා බලාපොරොත්තු වෙනවා.

- සුජිත් හේවාජුලිගේ -