හොරණ ප්‍රදේශයේ ළාබාල දැරියකට අතවර කළ සිද්ධියක් නිසා සවල් පහරකින් මියගිය පුද්ගලයෙකු ගැන සමාජ මාධ්‍ය තුළ කථාබහක් ඇතිව තිබේ. 'ඔය මිනිහාට කළේ හොඳ වැඩේ' 'දැක්ක තැනම දඩුවම දෙන්න ඕනා' ආදී ලෙස එම ක්‍රියාව අගය කරමින් සමාජ මාධ්‍ය තුළ පුවත් මැවී තිබේ. නමුත් හොරණ අරමනාගොල්ල සුචරිතගම වාර්තාකරුවන් වාර්තා කර තිබෙන ආකාරයට මෙම සිදුවීම ඒ කියන ආකාරයේ එකක් නොවන බව
හඳුනාගන්නට ලැබේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය සිකුරාදා (10) වැනිදාය. එදින රාත්‍රී 5 හැවිරිදි දැරියකගේ උපන්දින සාදයක් ඇගේ නිවසේ පැවතී ඇත. දැරියගේ පියා 30 හැවිරිදි ඩිලාන්ය. දැරියගේ බාප්පා 22 හැවිරිදි නාලකයි. සාදයට දැරියගේ පියාගේ ආරාධනයෙන්  45 හැවිරිදි ජයදේව අයියා නමැති කෙනෙකු පැමිණ තිබේ.

සිව්දරු පියෙකු බව කියන මොහු දැරියගේ පියා සමග කලෙක පටන් හිතවත්කමක් පැවති අයෙකි.

 ඔහු දරුවන් 4 දෙනෙකුගේ පියෙකු වූ අතර එදින පැමිණියේ ඔහුගේ බිරිය බව කියන කාන්තාවක සමගිනි. සාදය ජයටම පැවැත්වෙද්දී මත්පැන්ද පිරිස තොළගෑ බව කියැවේ. ඒ අතරවාරයේ තැන්තැන් වල ප්‍රීතිවන කතා ඡායාරූප ගැනීම් ආදිය සිදුවූ අතර නිවසේ අස්සක් මුල්ලක් නෑර අමුත්තන් විවිධ ක්‍රියාකාරකම්වල නිරතවෙමින් සිට ඇත. ජයදේව අයියා සිටියේ නිවසේ මුළුතැන්ගේයිහිය. එහි සිටියදී උපන්දිනය සමරන දැරිය සුරතලයට වඩාගන්නට ජයදේව උත්සාහ කර ඇත්තේ පිරිස බලා සිටියදීය.

තරමක බීමතින් සිටි ජයදේව දැරිය ඔසවන අයුරු බලා සිටි දැරියගේ පියා ඩිලාන් බිම තියන්න තියන්න ජයදේව දරුවා වැටෙයි යයි දන්වා ඇත. කෙසේ වෙතත් එය එතරම් තැකීමක් නොකළ ජයදේව දැරිය ඔසවා වඩාගෙන සිටි බව කියැවේ. ඒ සමගම දැරියට ආදරය පෙන්වමින් සිප ගෙන තිබේ. එම අවස්ථාවේ දැරිය බලෙන් උදුරාගන්නට ඩිලාන් ක්‍රියා කර ඇති අතර පිරිස ඉදිරියේ ඇතිවූ ලජ්ජා කිරීම නිසා ජයදේව හා ඩිලාන් අතර බහින්බස්වීමක් ඇරඹී ඇත. බහින්බස්වීම දුර දිගයන්නට වූ අතර අතින් පයින් පහර දෙන්නට යාම් සිදුවන අයුරක් පිරිසට පෙනී ගොස් තිබේ. මේ අතර ජයදේව සමග පැමිණි කාන්තාව ඔහුව රණ්ඩුවෙන් බේරාගෙන ඇදගෙන ගොස් ඇති අතර සාදය පැවති නිවසට යාබදව පිහිටි ඥාති නිවසක රඳවාගෙන ඇත.


කේන්තිය අහවර නොවූ ඩිලාන් නැවත ජයදේව සොයාගෙන පැමිණ ඇති අතර ජයදේවට අඩගසා නිවසින් එළියට කැඳවාගෙන ඇත. එම අවස්ථාවේ දැරියගේ පියා මෙන්ම 22 හැවිරිදි බාප්පා නාලකද සිට ඇත. ඔවුන් දෙන්නා පිටතට ආ ජයදේවට එක්වරම සවල් පහරක් ගසා බිම වට්ටවා ඇති අතර බිම වැටුණ ඔහු දෙන්නා එක්ව පාගා මරා දමා ඇත. අනතුරුව නිවස ඉදිරිපිට මාර්ගයට ගෙනගොස් දමා ඇත.

අවට සිටියවුන් සිරුර රෝහල්ගතකරන්නට සූදානම් වනවිටත් ඔහු මියගොස් තිබේ. සවල් පහර කෑමෙන් මියගිය ගඟබඩගේ ජයදේව(45) පෙදරේරු වෘත්තියේ නිරත හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය හොරණ මහේස්ත්‍රාත් ශ්‍යාමිනි විජේබණ්ඩාර විසින් සිදුකරනු ලබුවාය. අනතුරුව ඝාතනය සිදු කළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නට දැන්වූවාය. අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ දැරියගේ පියා ඩිලාන් පුෂ්පකුමාර (30) හා නාලක පුෂ්ප කුමාර (22) ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.