[Trending][btop]
[News][stack]

වාට්ටුවෙන් පැන පාරේ දිව්ව රෝගියා කුඹුරක මිය ගිහින්

ගල්ගමුව මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ජලභීතිකා රෝගියකු පෙරේදා (14) පස්වරුවේ වාට්ටුවෙන් පලාගොස් ගල්ගමුව පොලිස්ථානයට ඇතුළුවී කළහකාරී අන්දමින් හැසිරී පසුව මාර්ගය දිගේ
දුවගොස් ගොජරාගම කුඹුරුයායේ මියගොස් ඇතැයි මරණය සම්බන්ධයෙන් පැවැත්වූ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මරණයට පත්ව ඇත්තේ තිස් හය හැවිරිදි තිදරු පියෙකි. ගල්ගමුව බස්නාහිර කෝරළයේ හදිසි මරණ පරීක්ෂක ශාත්ත රණවීර මහතා මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය ගල්ගමුව මූලික රෝහලේදී පෙරේදා (14) පස්වරුවේ පැවැත්වීය. හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ පරිදි පලාගිය රෝගියා පසුපස ලුහුබැඳ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් පැමිණෙන විට රෝගියා නැවත මහ මාර්ගයට ගොස් මාර්ගය දිගේ දුවගොස් ඒ ආසන්නයේ පිහිටි ගොජරාගම කුඹුරු යායට පැන ඇති බව ද හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

ගොයම් ලියැද්දක තිබුණු ඔහුගේ මළ සිරුර පසුව සොයාගෙන තිබෙන බව ද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට කුරුණෑගල මහ රෝහලේ අධිකරණ විශේෂ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කොට වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට දැනුම් දුන්නේය.

ගල්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව නාලක ද සොයිසා මහතාගේ උපදෙස් මත සැරයන් අජිත් මහතා හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙය විය.

- ගල්ගමුව නිහාල් ජයවීර -