රටවල් 117ක වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයන් 37,000කට ආසන්න පිරිසක් නැවත මෙරටට  පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව වාර්ත වේ. නැවත මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ලියාපදිංචි වී සිටි විදේස්ගත ශ්‍රී ලාංකිකයන් 53,000කට ආසන්න පිරිසෙන් 15,930 දෙනෙකු ඊයේ (15) වනවිට මෙරටට ගෙන්වා අවසන් බව
කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පැවසීය. කොරියාව, ඉතාලිය, දෝහා, ලන්ඩන්,  මාලදිවයින, ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, බෙලරූස්, කුවේට්, රුසියාව, ඉස්තාන්බුල්, යුක්රේනය, සිංගප්පූරුව, බැංකොක්, ඩුබායි, ඕමාන්, චීනය, සීෂෙල්ස්, බහරේන්, ඉතියෝපියාව, සෞදි අරාබිය, දෝහා කටාර්, මියන්මාරය යන රටවල සිට මෙරටට  පැමිණීමට ඉල්ලුම් කළ ශ්‍රී ලාංකිකයන් මෙරටට
ගෙන්වූ බවද කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කළේය.


ඊයේ (15දා) සිට මෙලෙස ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ කටයුතු තාවකාලිකව අහිටුවීමට රජය පසුගියදා තීරණය කළේය. මේ පිළිබද වින්දේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, කන්දකාඩු නිරෝධායන මධස්ථානයෙන් එකවර ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වීම හේතුවෙන් උද්ගත වූ තත්ත්වය හා නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම්වල ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බවයි. කෙසේ නමුත් තත්ත්වය පාලනය කරගත හැකි වූ විගස නැවත විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ කටයුතු ආරම්භ කරන බවද කොළඹගේ මහතා ප්‍රකාශ කළේය.

-නවෝද්‍යා පවනි-