මල්වතු මහනායක හිමියන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු ලෙස පෙනී සිටිමින් විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා දිවයිනේ ප්‍රදේශ ගණනාවක සියයකට අධික පිරිසක් රවටා රුපියල් කෝටියක පමණ මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (14දා). අත්අඩංගුවට ගනු ලැබිණි.

 මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ දැනුම්දීමක් මත මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මාස කිහිපයක් විමර්ෂනය කිරීමෙන් පසු සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

නම් ගණනොවකින් පෙනී සිට ඇති මෙම සැකකාර පුද්ගලයා මල්වතු මහනාහිමියන්ට අමතරව, අක්ෂි ශල්‍යා විශේෂඥවරයෙකු, ඉංජිනේරුවරයෙකු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙසද පෙනී සිට ඇති බවත්, මෙම සැකකරු මහනුවර, මහරගම, කඩවත, අනුරාධපුර, ගාල්ල, මාතර,
වස්ගම, තෙල්දෙණිය ආදී ප්‍රදේශ ගණනාවක පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන තිබෙන බවත් පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත.

මොහු 2016 සිට පදිංචි ප්‍රදේශ වෙනස් කරමින් අදාළ වංචාව සිදුකර තිබෙන බවත්, යුරෝපා රටවල් සහ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මෙම පුද්ගලයා මල්වතු මහනාහිමියන් සහ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ ගණනින් ගිණුම් කිහිපයකට මුදල් ගෙවාගෙන තිබෙන බවත් පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු හා සම්බන්ධතා පැවැත්වූ එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ලබාගත් තොරතුරු මත පොලිස් නිලධාරීයෙකු ජපානයේ රැකියා අවස්ථාවක් ලබාගැනීමට අවශ්‍ය බව පවසමින් සැකකරු හා සම්බන්ධ වී තිබෙන අතර, සැකකරු ඇසුරු කළ තවත් කාන්තාවන් සිවුදෙනෙකු ඔස්සේ පරීක්ෂණ සිදුකර ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
 ඉඩම් විකිණීම සඳහා පුවත්පත්වල පළ කරන දැන්වීම්වලට අක්ෂි ශල්‍ය
වෛද්‍යවරයා ලෙස හා මහනාහිමියන් බව කියමින් මෙම පුද්ගලයා අමතා තිබෙන බවද පොලීසිය පැවසීය.
ඉඩම් හිමියන් අමතා ඉඩම පිළිබඳ විස්තර දැන ගැනීමෙන් පසු තමන් යුරෝපීය රටවලට මහනායක හිමියන්ද සහාය මත පුද්ගලයන් යොමු කරන බව දන්වා ඔවුන් වංචාවට හසු කරගන්නා බව පරීක්ෂණ මගින් හෙළි වී ඇත.

සැකකරු ග්‍රාම නිලධාරීන්ද නොමඟ යවා 1979 වර්ෂයේ උපන් බවට වෙනත් නමකින් ජාතික හැඳුනුම්පතක්ද සකස් කරගෙන ඇති අතර, රැකියා අවස්ථා ලබාගැනීමට කැමති වන පුද්ගලයන්ට ඔහු විශේෂ පෝරමයක් යොමුකර ඔවුන්ගේ තොරතුරු, ජාතික හැඳුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් විද්‍යුත් ලිපිනයක් ඔස්සේ ගෙන්වාගෙන තිබේ. එම ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත් උපයෝගි කරගනිමින් ඔවුන්ගේ නම්වලට සැකකරු දුරකථන සිකාඩ් මිලට ගෙන ඇති බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
 සැකකරු සමග සිම් කාඩ්පත් 22ක් හා ජංගම දුරකථන 07ක්ද පොලීසිය භාරයට ගෙන තිබෙන අතර, සැකකරු පරිහරණය කර ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ටිකරයක් සහිත සුබෝපභෝගි මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

චමිල්  රූපසිංහ