හදිසි හෘදයාබාධ තත්ත්වයකින් ඉකුත් 12 වැනිදා ස්වර්ගස්ථ  වූ ලුණුවිල, කිරීමැටියාන ශාන්ත ජෙරාර්දු මයෙල්ලා දේවස්ථානයේ පාලක සුනිල් විජේසිංහ පියතුමාගේ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාව පෙරේදා (13) පස්වරුවේ ලැබී තිබූ අතර, එහි කොරෝනා රෝග ලක්ෂණ නොමැති බවට වාර්තා වූ බව මාරවිල රෝහලේ
අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් ලංසක්කාර මහතා පැවසීය. අවට ප්‍රදේශවල පැවති වාතාවරණය සහ හදිසි මරණ ස්වභාවය සැලකිල්ලට ගනිමින් මාරවිල රෝහලේදී පියතුමාගේ මරණ පරික්ෂණ කටයුතු සිදුකෙරුණු අතර, හදිසි මරණ පරීක්ෂකවරයා දේහය ආදාහනය කරන ලෙසටද නියම කර තිබුණි. මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් ලංසක්කාර මහතා පැවසුවේ තමන්ද එහි පරීක්ෂණ කටයුතුවලට සහය වෙමින් බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත ශරීර කොටස් රැගෙන ගොස් කඩිනමින් වාර්තාව ලබාගත් බවය.

මේ අනුව දේහය භූමදානය කිරීමට අවමංගල්‍ය කමිටුව තීරණය කළ අතර, සෞඛ්‍ය ආරක්ෂක වෛද්‍ය උපදෙස් අනුව දේහයට අවසන් ගෞරව දක්වා ඊයේ (14) මාරවිල ශ්‍රී කුරුස සුසාන භූමියේදී මිහිදන් කිරීමට  කටයුතු කරන ලදී.  සුනිල් විජේසිංහ පියතුමා තලවිල ජාතික ශාන්ත ආනා සිද්ධස්ථානයේ පාලකව සිටි අතර, මාරවිල දෙවුසත්හලේ අධ්‍යක්ෂ ධුරය ද දැරීය. කටුනේරිය, තලවිල, හොරගොල්ල, නාත්තන්ඩිය, කිරිමැටියාන ඇතුළු මීසම් රැසක පාලක පියතුමා වශයෙන්ද කටයුතු කර තිබිණි.

-මාරවිල ට්‍රික්සි කොන්ස්ටන්-