හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ “ස.තො.ස“ ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද (15) ආර්. ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා ඉකුත් දිනවල කුණ්ඩසාලයේ සා හේවාහැට ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වී ඇති හෙයින් එම ප්‍රදේශවලින් මේ වනවිට කොතා වී ඇති නිසාරෝනා රෝගීන් වාර් සෞඛ්‍යාරක්ෂාව පදනම් කරගෙන ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින බවය.


මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින නලින් ප්‍රනාන්දු මහතාද අධිකරණ ශාලාව තුළට පැමිණ නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා පසුගිය දිනවල ගම්පහ ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වී ඇති බවත් ඔහුද සෞඛ්‍යාරක්ෂාව සැලකිල්ලට ගෙන අධිකරණ භූමියට පැමිණ සිටින නමුත් අධිකරණ ශාලාව තුළට නොපැමිණි බවය.

කෙසේ වෙතත් එම දැනුම්දීම සටහන් කරගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත සැප්තැම්බර් මස 3 වනදා කැඳවන ලෙස නියම කළහ.

එදින නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන දිනය නියම කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටියි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාත් නවාවි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන ලේඛන උත්පාදනය කළ “මහජන බැංකුව“ සහ “ශ්‍රී ලංකා රේගුව“ තුළ තිබෙන පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා එම ආයතන විසින් විත්ති පාර්ශවයට අවසර ලබාදී තිබෙන බව සඳහන් කළේය.

ජාතික විගණන කාර්යාලය සහ “ස.තො.ස“ ආයතනයට අයත් පරිගණක පද්ධති දැනට වසර 5 කට පෙර යාවත්කාලීන කර තිබෙන බැවින් මෙම නඩුවට අදාළ ලේඛන උත්පාදනය කළ පරිගණකය සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.


2014 වසරේ සැප්තැම්බර් මස පළමුවන දා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් “ස.තො.ස“ ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ “ස.තො.ස“ ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 26 දෙනෙකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ 15ක් ද නම් කර ඇති බව වාර්තා වේ.