විදුලි පාරිභෝගිකයන්ට පෙබරවාරි මාසයේ නිකුත් කළ බිල්පත හා සමාන ගාස්තු ඇතුළත් බිල්පතක් මාර්තු අප්‍රේල් සහ මැයි මාසවල නිකුත් කිරීමට පියවර ගෙන ඇති බැවින් එම මාසවලදී වැඩිපුර ගෙවා ඇති මුදල් ඊළග බිල්පතේ සිට අඩුකිරීමට පියවර ගන්නා බව
විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කොළඹ දී ඊයේ (30) පැවසීය.
පාරිභෝගිකයන් වැඩිපුර ගෙවා ඇති මුදල අඩුවනතෙක් ඉදිරි මාස සඳහා විදුලි බිල්පත් ගෙවීම අවශ්‍ය නොවන බවද සභාපතිවරයා සඳහන් කළේය.  දිවයින පුරා සියලු විදුලි පාරීභෝගිකයන්  සඳහා මෙම සහනය ලබාදෙන බව කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කළේය. පාරිභෝගික ජනතාව මෙම සහනය ලබාදීම සඳහා ඇමැති මණ්ඩල තීරණයක් මත රජය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇතැයිද විජිත හේරත් මහතා කීවේය.

බිල්පත් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමේ ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට මණ්ඩලය තීරණය කර ඇති බවත් පැවසූ සභාපතිවරයා හිඟ මුදල් හැකි පරිදි ගෙවන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. කොරෝනා වසංගතය හේතුවෙන් මහජනතාව නිවෙස්වලම රැඳී සිටීම නිසා විදුලිය පරිභෝජනය වැඩිවීමෙන් මාර්තු,  අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිල්පත් ඉහළ යාමට හේතු වූ බවද ඔහු කීවේය. පසුගිය වසරේදී විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 85,000ක් පාඩු ලැබූ බවත් මේ වසරේදී පාඩුව රුපියල් කෝටි 90,000ක් බවට පුරෝකතනය කළත් රුපියල් කෝටි 63,000 ක සීමාවකට එම පාඩුව අවම කරගැනීමට හැකියාව තිබෙන බවත් සභාපතිවරයා පැවසිය. ඉන්ධන සහනය හිමිවීම සහ කර්මාන්ත ශාලාවල විදුලි පරිභෝජනය අඩුවීම හේතුවෙන් තාප විදුලිය නිෂ්පාදනයට යන වියදම අඩුවීම නිසා මෙම පාඩුව අවම කිරීමට හැකිවූ බව ඔහු සඳහන් කළේය.

-නිමල කොඩිතුවක්කු-