නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම කෙරෙහි සෑම දෙනෙක්ගේම අවධානය යොමුව තිබේ. එමෙන්ම අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ මානසික
සුවතාවය පතා ජනතාව වැඩි වශයෙන් විනෝද චාරිකා යාම සඳහා පෙළඹී ඇති බවද පෙනෙන්නට ඇත. නමුත් එහිදී සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් විවිධ ගැටලු පවතී. එබැවින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම සහතික කිරීම සඳහා සකස් කරන ලද නවතම පික්නික් බ්ලැන්කට්ටුවක් ලන්ඩන් නිර්මාණකරුවෙකු විසින් හඳුන්වා දී තිබේ. මෙම බ්ලැන්කට්ටුව මඟින් පුද්ගලයන් සමාජගත වීමේදී ඔවුන් අතර සුදුසු දුරක් පවත්වා ගැනීමට හැකියාව ලැබේ.

ලොව පුරා අගුලු දැමීම් ලිහිල් වීමත් සමඟ පවුලේ නොවන සාමාජිකයන් සමඟ මීටර් දෙකක දුර ප්‍රමාණයක් පවත්වා ගනිමින් විනෝද චාරිකා යන්නේ කෙසේදැයි යන්න පිළිබඳව ජනතාවට ගැටළුවක් පවතින අතර මීට විසඳුම් වශයෙන් පෝල් කොක්සෙජ් මෙය පහසු කිරීම වෙනුවෙන් මෙම නව බ්ලැන්කට්ටුව නිර්මාණය කර ඇත.

මෙම නිර්මාණය හරහා මිනිසුන්ට ආරක්ෂිතව තම විනෝදකාමී ජීවිතය පවත්වාගෙන යාමට අවස්ථාව හිමිව තිබේ. මෙම නිර්මාණය Here Comes the Sun blanket ලෙස නම් කර ඇති අතර එය නොමිලේ බෙදා හැරීමටද කටයුතු කර තිබේ. මෙය රවුම් හැඩැති ආකාරයට නිර්මාණය කර ඇති අතර එය වටා රෙදි කව හතරක්ද සවි කොට තිබේ. මෙම කවයන් කේන්ද්‍රය වටා මීටර් දෙකක පරතරයකින් සකස් කොට තිබේ.

මෙම බ්ලැන්කට්ටුවේ නිර්මාතෘ පෝල් කොක්සෙජ් හටද අනෙක් පුද්ගලයන් සමඟ පෙර පරිදි සබඳතා පැවැත්වීමට අවශ්‍ය වූ හෙයින්  එය ආරක්ෂිතව සිදු කිරීම සඳහා මීටර් දෙකක දුරක් සහිත මෙම නව නිෂ්පාදනය ඔහු විසින් සොයාගෙන තිබේ.

රිෂ්මි ඉෂාරා