පෙබරවාරි විදුලි බිලට සමාන මුදලක් කොරෝනා වසංගතය පැවැති මාසවලටද  ගෙවන ලෙස තමන් යෝජනා කළ බව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහනුවරදී පෙරේදා (11) පැවැසීය.
විශේෂයෙන්ම කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් විදුලි පාරිභෝගිකයන්ට සහනයක් සැලැසීම
කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට පවරා ඇති බවත් එහිදී එක්කෙනකු විදුලි බිලෙන් සියයට 25ක් අඩු කිරීමටත් තවත් කෙනකු සියයට 30ක් අඩු කිරීමටත් යෝජනා කළ බවත් රාජපක්ෂ මහතා කීය.

පෙබරවාරි මාසයේ කොරෝනා ව්‍යසනය නොතිබුණු නිසා ඒ මාසයේ ගෙවපු මුදල මාර්තු, අප්‍රේල් හා මැයි මාසවලටත් ගෙවන්න යයි තමා යෝජනා කළ බවත් වැඩිපුර සඳහන් මුදල ජනතාවට තියා ගන්න යැයි යෝජනා කළ බවත් කීවේය.

තවද මාසික විදුලි බිල 5,000ක් බව ද මෙවර එය රුපියල් 4,000කින් වැඩි වී රුපියල් 9,000ක් වී තිබෙන බව ද පාරිභෝගිකයකු පැවැසු අවස්ථාවේ ඔහුට 4,000 ළඟ තබාගෙන වෙනදා ගෙවන 5,000 ගෙවන ලෙසට තමා උපදෙස් දුන් බව ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ මාතර නූපේ නගරයේදී පෙරේදා පැවැති පොදුජන පෙරමුණේ ජන හමුවකට සහභාගී වෙමිනි.

අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, කාංචන විජේසේකර යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ.

- ක්‍රිෂාන් ජීවක ජයරුක් -