පිළියන්දල කැස්බෑව ගුරු ගම්මාන පාරේ තෙමහල් නිවෙසක විසූ දසුන හෝටලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධිය හා සම්බන්ධ තවත් තොරතුරු මේ වනවිට අනාවරණයවී තිබේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ
ප්‍රසන්න සාගර කුමාර (51) දෙදරු පියෙකි. තුවාල ලද ව්‍යාපාරිකයාගේ බිරිය කළුබෝවිල රෝහලේ තවමත් ප්‍රතිකාර ලබයි.
ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා දරු දෙදෙනා හා බිරිය සමඟ තෙමහල් ගොඩනැඟිල්ලේ දකුණු කෙළවරට
පිහිටා  තිබෙන තෙමහල් නිවෙසේ දෙවැනි මහලේ එකම කාමරයක එකිනෙකට යාබදව තිබෙන ඇඳන් දෙකක්
මත නිදාගෙන සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.
අලුයම හතරට පමණ තුවාල ලද ව්‍යාපාරික බිරිය හෝටලයේ මුළුතැන්ගෙයි සේවය කරන වයෝවෘද්ධ  අඹුසැමි යුවළ නිදා සිටි කාමරය වෙත ගොස් ඔවුන් අවදිකර “අනේ අපිව බේරා ගන්න බේර ගන්න බයයි බයයි“ යනුවෙන් හඬා වැටෙමින් පවසා ඇතැයි ද එම අවස්ථාවේදී ඇයගේ නළලින් ලේ ගලමින් තිබී ඇතැයිද ඇය සමඟ දරු දෙදෙනාද පැමිණ ඇතැයිද
සාක්ෂි ලැබී තිබේ.
එම වයෝවෘද්ධ යුවළගෙන් පිරිමි පුද්ගලයා හෝටලයේ සේවය කරන තවත් සේවකයකු සමඟ යාබදව පිහිටා
තිබෙන ව්‍යාපාරිකයාගේ නිවෙසට ගොස් සොයා බැලීමේදී ඔහු ඇඳේ උඩුබැලි අතට සිටි බවත් හිසෙන් පිටවූ
ලේ දහරාවක් මෙට්ටය මත මෙන්ම ඔහුගේ අත්වල, මුහුණේ හා පපුවේ ගැල්වී තිබූ බවත් හඳුනාගෙන ඇත.
යාබද කාමරයේ අල්මාරියේ ලාච්චු පිටතට ගෙන එහි තිබෙන භාණ්ඩ පිටතට ඇද දමා ඇති බවද පොලිසියට නිරික්ෂණය වී ඇත.
සිද්ධිය සැලව එම ස්ථානයට පැමිණි පිළියන්දල පොලිසියේ නිලධාරීන් සිදුකළ මූලික විමර්ශනවලදී  දකුණු පස පහත මහලේ ජනේලයක් කඩා කිසියම් පුද්ගලයකු නිවෙසට ඇතුළු වී මෙම අපරාධය කළ බවට සාක්ෂි ලැබී ඇත.
එම ජනේලය ආසන්නයේ තිබෙන කෙටි තාප්පය අසල රබර් වත්තෙන් පැමිණි පුද්ගලයකු හෝ
කිහිපදෙනකු මෙම අපරාධය සිදුකර එය කොල්ලකෑමක් සිදුකිරීමට පැමිණි එකක් බවට පොලිසිය නොමඟ යැවීමට
යාබද කාමරයේ අල්මාරියේ ලාච්චු පිටතට ගෙන එහි තිබෙන භාණ්ඩ පිටතට ඇද දමා ඇති බවක් පොලිසිය හඳුනාගෙන තිබේ.


ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා, දරු දෙදෙනා හා බිරිය සමඟ එකිනෙක ළං කළ ඇඳන් දෙකක නින්දට
ගොස් ඇති අතර ව්‍යාපාරිකයා දකුණු කෙළවරෙත් බිරිය වම් කෙළවරෙත් සිට දරු දෙදෙනා ඔවුන් මැදිවන
සේ නිදාගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇත. ව්‍යාපාරික බිරිය නිදාගෙන සිටි කොට්ටය අසල අඩියක්
පමණ දිගැති පොලු කැබැල්ලක් දක්නට ලැබුණු බවත් සිය පොලිස් විමර්ශන නොමඟ යැවීම සඳහා දමන ලද
එකක් වියහැකි බව පොලිසිය කියයි.
එම කුඩා පොලු කැබැල්ලෙන් යම් පුද්ගලයකුට මාරාන්තික තුවාල සිදුකළ නොහැකි බව පොලිස් නිලධාරියෙක්
පැවැසීය.
මෙම පොල්ලේ ලේ තැවරී තිබූ අතර පොලිසිය සුනඛ ජෙනී ගෙනවිත් ඒ පොල්ල ඉව කිරීමේදී ඌ නිවස තුළම ඉවකරමින් රැඳී සිටි බව නිරීක්ෂණය වී ඇත.

ව්‍යාපාරික යුවළගේ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට ඉකුත් මාස කිහිපය තුළ පැමිණිලි
දෙකක් ලැබී ඇතැයි පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සහන් රංජිත් මහතා
පැවැසීය.

එම කාන්තාව පසුගිය දෙසැම්බර් මස නිවෙසින් පිටවී බොරලැස්ගමුවේ නිවෙසේ පදිංචියට ගොස් මෙම වසරේ
පෙබරවාරි මස යළි මෙම නිවෙසට පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි ස්ථානාධිපතිවරයා වැඩිදුරටත්
පැවැසීය.


ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සිදුකළ පරීක්ෂණවලදී ව්‍යාපාරික බිරිය සම්බන්ධ දැඩි
සැකයක් හටගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සිදු වූ මෙම ඝාතනයට පැමිණි පිටස්තර
පුද්ගලයකුට නිවෙස තුළ සිටින පුද්ගලයකුගෙන් හෝ කිහිපදෙනකුගෙන් දැඩි සහායක් ලැබී ඇති බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාට තදින් නින්ද යෑම සඳහා රාත්‍රි ආහාරයට යම් මත් ද්‍රව්‍යයක් ලබා
දුන්නාද යන්න පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් යම් වැදගත් තොරතුරක් ලබා ගැනීම සඳහා හෝටලයේ සේවකයන් කිහිපදෙනකුගෙන්
ව්‍යාපාරික කාන්තාවගෙන් මෙන්ම දරු දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගන්නා බව පිළියන්දල පොලිසිය
සඳහන් කරයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ස්ථාන පරීක්ෂණ සිදුකිරීමෙන්
පසු ඝාතනයේ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.