සිරුරින් එකට බද්ධ වී වාසය කළ, ලොව වයස්ගතම නිවුන්නු දෙදෙනා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝහි පදිංචිව සිටි රොනී සහ ඩොනී ගේලොන් දෙපළ වසර 68ක් ආයු වළඳා පසුගිය ජූලි 04 වැනිදා මරණයට පත්වූ බව වාර්තා වෙයි.
1951 වසරේ ඔක්තෝබර් 28 වැනිදා ඔවුන් දෙදෙනා සිරුරින් එකට බද්ධ වූ නිවුන් දරුවන් ලෙස උපත ලබා තිබේ. ඊලන් සහ වෙස්ලි ග්ලොන් ඔවුන්ගේ දෙමවුපියන් විය. උපතේදී වඩාත් නිරෝධී දරුවන් වූ ඔවුන්ගේ උපත් බර පිළිවෙළින් රාත්තල් 11ක් සහ රාත්තල් 11.5ක් වූ බවත් පැවසෙයි. ඔවුන් සිය දිවියේ පළමු වසර දෙක
වෛද්‍යවරුන්ගේ රැකවරණ යටතේ රෝහල තුළ ගත කර තිබේ.
එහිදී වෛද්‍යවරුන් ඔවුන් දෙදෙනා වෙන් කළ හැකි ආරක්ෂිතම ක්‍රමවේදයක් පිළිබඳව විමසා ඇත. එහෙත් එක් අයෙකුගේ ජීවිතයට හානියක් නොවී එය සිදු කළ නොහැකි බවට වෛද්‍යවරුන් පැවසීමෙන් අනතුරුව මවුපියන් වූ ඊලන් සහ වෙස්ලි එයට අකමැත්ත පළ කර තිබේ.
ඔවුන් දෙදෙනාටම උපතින් හදවත් දෙකක්, උදර දෙකක් මෙන්ම එකිනෙකට වෙන් වූ පාද සහ දෑත් ද  උරුම වී තිබුණි. 2014 වසරේදී ඔවුන්ගේ වසය අවුරුදු 63 පිරීමත් සමගින්ම ලොව එකට බද්ධ වූ වයස්ගතම නිවුනු දෙදෙනාට හිමි ගිනස් ලෝක වාර්තතාවටද ඔවුන් හිමිකම් කීය. ආසන්න වසර කිහිපයේදී දෙදෙනාම විවිධ රෝගාබාධාවලින් පෙළුණු බවත්, එම රෝගී තත්ත්වය හේතුවෙන්ම පසුගියදා ඔවුන් මරණයට පත්වූ බවත් වාර්තා වෙයි.