මෙතෙක් කාලයක් හඳුනා නොගත් දළඹු විශේෂයක් හේතුවෙන් දේශීය ලූනු වගාවට හානියක් සිදුවෙමින් පවතින බව කෘෂිකර්ම නිලධාරීහු පවසති. කහ පැහැති මෙම දළඹු විශේෂෙය දඹුල්ල කෘෂිකර්ම බල ප්‍රදේශයේ ගලේවෙල තෙන්නකෝන්පුර ප්‍රදේශයේ ගොවි මහතෙකුගේ ලොකු ලූනු වගාවෙන් මුලින්ම 26දා පස්වරුවේ සොයා ගත් බව දඹුල්ල කෘෂිකර්ම සහකාර අධ්‍යක්‍ෂ කාර්යාලයේ මූලස්ථාන කෘෂිකර්ම උපදේශක ඒ.එම්. බණ්ඩාර මහතා පැවසීය.

මෙම දළඹුවා පිළිබද මුලින්ම දැක ඇත්තේ තෙන්නකෝන්පුර ගොවියෙකු වූ නිමල් ජයසුන්දර මහතා වන අතර, සිය වගා බිම ආසන්නයේ පිහිටි දිය සියඹලා ගස් රැසක් එක්වර මියැදීමට පටන් ගැනීම පිළිබදව සොයා බැලීමේදී මේ පිළිබදව ඔහු දැක තිබේ. දින දෙකක් තුළදී බෝවීම වර්ධනය වී තම වගාවටද මෙම දළඹුවන් හානි කිරීමට පටන් ගත් බව ඒ මහතාට නිරීක්ෂණය වී තිබේ. 

පසුව ගොවි මහතා තම වසම භාර කෘෂිකර්ම උපදෙෂිකා ආර්. ඩබ්. ඩබ්. වන්නිනායක මෙනවියට මේ බව දැනුම් දීමෙන් පසුව ඇය කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරිවරයා සමඟ එක්ව දඹුල්ල කෘෂිකර්ම කාර්යාලයේ නිලධාරීන් දැනුවත්කොට තිබිණි.  

ඒ අනුව කෘෂිකර්ම නිලධාරීන් මෙම තෙන්නකෝන්පුර ප්‍රදේශයේ ලොකු ලූනු වගාව මෙන්ම අවට ප්‍රදේශද පරික්ෂා කිරිමේදී විශාල දළඹු ගහනයක් දැක ගැනීමට හැකි වූ බව දඹුල්ල සහකාර කෘෂිකර්ම කාර්යාලයේ කෘෂිකර්ම උපදේශක ඒ.එම්. බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා තවදුරටත් මේ පිළිබදව පරික්ෂා කොට බලා පවසා සිටියේ මීට පෙර මෙවැනි දළඹු විශේෂයක් ලූනු වගාවට හානි කරන බවට කිසිදු තොරතුරක් නොලැබුණු බවයි. මෙම දළඹුවා මීට පෙර තමන්ද දැක නොමැති බව හෙතෙම සඳහන් කළේය. මෙම වන්නිනායක කෘෂිකර්ම උපදේශිකාව පවසා සිටියේද තමන් අධ්‍යාපනය ලබන කාලයේ හෝ මෙවැනි දළඹු විශේෂයක් පිළිබදව හදාරා නොමැති බවයි. මෙම දළඹුවා කහ පැහැති පාද රැසක් හිමි සතකු බවත්, දිය සියඹලා ශාකයේ වැඩි වශයෙන් ජීවත්වන බවද කෘෂිකර්ම උපදේශකවරු පෙන්වා දෙති. 

එමෙන්ම මෙම සත්වයන් දිය සියඹලා ශාකය විනාශ කිරීමත් සමඟ අනෙකුත් ශාකවලට පැමිණ විශාල ප්‍රමාණයක් ආහාර ගැනීම සිදුකරන බවත්, මෙම දළඹුවා දිවා රාත්‍රී දෙකෙහිම දැඩි සක්‍රීයව ආහාර ගැනීම සිදුකරන බවත් කෘෂිකර්ම නිලධාරීහු පෙන්වා දෙති.

සියඹලා ගස් විනාශ වීමත් සමඟ අනෙකුත් භෝග සදහා මෙම දළඹුවන් ව්‍යාප්ත වන බවද ගොවීහු පවසති. දැඩි ව්‍යාප්තිය හේතුවෙන් ලොකු ලූනු වගාව තුළ හා එම ප්‍රදේශවල ගොවීන්ට හෝ පුද්ගලයෙකුට ඇවිද යෑමට තරම් නොහැකිව සිරුරේ පවා නගින තරමට මෙම සත්වයන් ගහනය වී ඇතැයි කෘෂිකර්ම නිලධාරීහු පෙන්වා දෙති.

මෙම දළඹු විශේෂය කුමක්දැයි සෙවීම සදහා අදාල පරීක්ෂණාගාර වෙත යැවීමට පියවර ගන්නා බවත් දැනට
මෙම දළඹුවා මර්දනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් රැසක් ගොවි මහතාට ලබාදී ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම බෝවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් කෘෂිකර්ම උපදේශක බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය. 

මෙම දළඹුවාගේ විශේෂත්වය වනුයේ සේනා දළඹුවා ආහාර ගන්නා රටාවටම විශාල ප්‍රමාණයක් ආහාර ගැනීම වන අතර, ශාක පත්‍ර මෙන්ම ශාකයේ කොටස් ද ආහාරයට ගන්නා බවත්, කෘෂිකර්ම උපදේශක බණ්ඩාර මහතා කියා සිටියේය.

ලූනු වගාව විනාශ කරන සතුන් දෙදෙනකු පමණක් දැනට හඳුනා ගෙන ඇති බවත්, මෙම සත්ව විශේෂය තමන්ද මීට පෙර හඳුනාගෙන නොමැති බවත් එබැවින් මෙම සත්ත්වයන් පර්යේෂණාගාරයට යැවීමට පියවර ගෙන, දැනට තාවකාලිකව මෙම සතුන් මර්දනය කිරීම සඳහා උපක්‍රමශීලීව ක්‍රියා මාර්ග රැසක් ගොවි මහතාට ලබාදුන් බවත් ඒ මහතා පැවසීය.

- එස් කරුණාරත්න -