ඔත්තු බැලුවායයි වරදක් සම්බන්ධයෙන් ඉරානයේ වසර 10 ක සිර දඩුවමක් විඳිමින් සිටින බ්‍රිතාන්‍ය-ඕස්ට්‍රේලියානු කාන්තාවක වන කයිලි මුවර්-ගිල්බට් ගැන නැවතත් විදෙස් වාර්තා පළවන්නට පටන්ගෙන තිබේ. ඒ ඇයව කාන්තාරයේ කුප්‍රකට බන්ධනාගාරයකට මාරු කර යවා ඇති බව ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරීන් සොයාගෙන තිබෙන තොරතුරු නිසාය.
මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් වන කයිලි මුවර්-ගිල්බට් 2018 සැප්තැම්බර් මාසයේ සිට ඉරානයේ සිරගතව සිටී.ටෙහෙරාන් අගනුවර සිර මැදිරියක බිම නිදාගෙන වසර දෙකකට ආසන්න කාලයක් ඇය දුක්විඳිමින් සිටින බව ආරංචි වාර්තා විය.
ඇය අසාධාරන ලෙස සිරගත කර ඇති අතරම ඇයට බාහිර ලෝකය සමග සම්බන්ධවීමට අවස්ථාව වළකා ඇත.මැද පෙරදිග දේශපාලනය ගැන කථිකාචාර්යවරියක් වන මුවර්-ගිල්බට් මහත්මිය 
කේම්බ්‍රිජ් අධ්‍යාපනය ලැබූ අයෙකි. ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරමින් ගමන් කරමින් සිටියදී ඇය සම්මන්ත්‍රණයක් නිමකර යාමට යමින් සිටියදී 2018 දී ටෙහෙරාන් ගුවන් තොටුපලේ රඳවා ගනු ලැබීය. බලධාරීන් පවසා තිබුනේ ඇය ඔත්තුකාරියක බවයි. නමුත් ඇය ඇගේ පර්යේෂණ වලට අවශ්‍ය දත්ත රැස්කරමින් සිටියා පමණි. ඒවා ඉරාන බලධාරීන් තේරුම්ගත්තේ රහස්‍ය වාර්තා ලෙසිනි.
ඇයට එරෙහි සියලු චෝදනා ඇය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි. ඇයව අසාධාරණ ලෙස ලෝකයෙන් වෙන්කර තිබූ කාලයෙහි එක් දුරකථන ඇමතුමක් පමණක් ලබා ගැනීමට සමත් වූ අතර ඇය ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියකට පැවසුවේ ඇය ඉතා නරක තත්වයක සිටින බවත්, මානසික අවපීඩනයෙන් පෙළෙන බවත් ආහාර ගැනීමට නොහැකි බවත්ය.
ඇය හුදෙකලා සිර කඳවුරක සහ උපවාසයේ යෙදී සිටි බවද වාර්තාවූ අතර නව සිරකරුවන් සැනසීමට උත්සාහ කිරීම නිසා ඇයට පහර දී ඇති ආරංචිද පළවිණි.
ජනවාරියේදී ටෙහෙරානයේ එවින් බන්ධනාගාරයෙන් හොර රහසේ ගෙන ගිය ලිපි කිහිපයක් මගින් ඇය ඇගේ තත්වය වැඩි විස්තර කර තිබුණි. කථිකාචාර්යවරිය කියා සිටියේ ඇය කිසි විටෙකත් ඔත්තුකරුවෙකු නොවූ බවත් නිදහසේ ඉන්නට දෙන්නට නම් ඔවුනගේ ඔත්තුකාරියක ලෙස කටයුතු කරන්නට ඉල්ලීම් කළ බවත්ය.ඇයට ඔත්තුකරුවෙකු වීමට ඉරානයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ඇය පැවසුවාය.
දැන් ඇයව කුප්‍රකට කාර්චක් බන්ධනාගාරයට ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ඉරානයේ සිරගත කරන ලද ද්විත්ව ජාතිකයින්ගේ ඉරණම අවිනිශ්චිත යයි මානව හිමිකම් සංවිධාන අවස්ථා කිහිපයකදී අනතුරු අඟවා තිබේ.