daham school sri lanka
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා තිබූ බෞද්ධ දහම් පාසල් අගෝස්තු 16 වැනිදා සිට අදියර දෙකක් යටතේ යළි ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසීය.

ඒ අනුව දහම් පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති අගෝස්තු 16 වැනිදා සිට
ආරම්භ කෙරෙන අතර 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති අගෝස්තු 23 වැනිදා සිට ආරම්භ
කෙරෙන බව ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් අනුගමනය කරමින් මෙදින සිට දහම් පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය සේවා
අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එකඟතාව ලබාදී ඇති බව ද හෙතෙම කීවේය.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් අගෝස්තු දහම් පාසල් යළි ආරම්භ කරන බව ද සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසීය.

නිතර සබන් යොදා අත්සේදීමට අවශ්‍ය සබන්, විෂබීජනාශක හා පිරිසිඳු කිරීමට අවශ්‍ය උපකරණ
ප්‍රමාණවත් පරිදි සැපයීම, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම හා කිවිසීමේදී හා කැස්සකදී නිවැරදි
පුරුදු අනුගමනය කිරීම, නිතර මුහුණ ඇල්ලීමෙන් වැළකී සිටීම, දහම් පාසලට යන එන අතරමගදී මුහුණු ආවරණ
භාවිතය, මුහුණ ආවරණ නොපළඳින අවස්ථාවල පිරිසිඳු බහාලුමක බහා තැබීම ආදිය සම්බන්ධයෙන් නිතර
දරුවන් දැනුවත් කිරීම, ස්පර්ශ වන පෘෂ්ඨ විෂබීජ හරණය කිරීම, ශිෂ්‍යයන් ලබාදෙන උපදෙස් පිළිපදින්නේ
ද යන්න නිතර සොයාබැලීම ආදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් දහම් පාසල් යළි ආරම්භ කරන ලෙස
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලවල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මෙන්ම
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇතැයි ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා
ප්‍රකාශ කළේය.
(ඩයනා උදයංගනී)