මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරින්ගෙන් හෙරොයින් මිල දී ගත් බව කියන රාජීත ඉන්දික නොහොත් බඩෝවිට ලොකු නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඉන්දියාවට පලා ගොස් ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
රාජිත ඉන්දික නොහොත් බඩෝවිට ලොකු නැමත්තා මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියාවට පලාගොස් ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද මේ වන විට අතුරුදන්ව ඇති බවත් එම පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

සැකකාර නාකොටික් නිලධාරින් හෙරොයින් මත්ද්‍රව්‍ය මෙම ලොකු නමැත්තා මාර්ගයෙන් විකුණා ඇති බවට සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරිම්වල දී අනාවරණය වී ඇති බව ද එම බවද ආරංචිමාර්ග පවසයි. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙරොයින් සමඟ මෙරටට එවා ඇති බව කියන පිස්තෝල ගිනි අවි හතරක් ද මෙම පුද්ගලයා සතුව ඇති බවට සැකකරුවන්ගෙන් කෙරුණු ප්‍රශ්න කිරිම්වල දී තහවුරු වූ බව ඉකුත් දා අධිකරණයේ දී ද කරුණු අනාවරණය විණි.

ලොකු නමැත්තා විසින් ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ ඉදිකර තිබූ තෙමහල් නිවස පරීක්ෂාවට ලක් කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම නිවසේ නවතා තිබූ ඔහුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ඔහුගේ පෙම්වතියට අයත් බව කියන මෝටර් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම මෝටර් රථවලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළා ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූව එම මෝටර් රථ දෙක රජයේ රස පරික්ෂකවරයා වෙත ද ඉදිරිපත් කර ඇත.

(නිමන්ති රණසිංහ)