කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හෝමාගම සහ පිළියන්දල ප්‍රදේශවලින් කොවිඩි 19 ආසාදිතයන් බවට හඳුනාගත් යුද හමුදා නිලධාරීන් සමඟ සබඳතා පැවැත් වූ තවත් සිව් දෙනකු ඊයේ (16) නීරෝධායනයට ලක් කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.



හෝමාගම පදිංචි යුද හමුදා නිලධාරියා නිවාඩු පැමිණ සිටි කාලයේ ගොස් තිබූ බවට හඳුනා ගත් හෝමාගම ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාලයේ ආරක්ෂක නිලධාරියකු ඇතුළු තිදෙනෙකු සහ පිළියන්දල පදිංචි යුද හමුදා නිලධාරියා සමග වෑන් රථයකින් චාරිකාවේ නිරත වූ පුද්ගලයකු ද මෙලෙස ඔවුන්ගේ නිවාස තුලම ස්වයං නිරෝධායනයට ලක් කළ බව ද ඒ මහතා කීවේය.

මේ අතර කොවිඩ් 19 ආසාදිත එක් හමුදා නිලධාරියකු වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ගොස් තිබූ හෝමාගම වෛද්‍ය මධ්‍යස්ථානයේ ඔහු සමග ප්‍රතිකාර ලබා ගත් පිරිස ද හඳුනා ගනිමින් සිටින බවත් එම පිරිසද ඉදිරියේදී නිරෝධායනය සඳහා යොමු කිරීමටත් බලාපොරොත්තු වන බවත් ප්‍රියන්ත විජේසුරිය මහතා පැවසීය.

(මොරගහහේන - කේ.බුද්ධික කුමාරසිරි)