[Trending][btop]
[News][stack]

ලොක් ඩවුන් කළොත් ලංකාවට වියහැකිදේ - සමීක්ෂණ ප්‍රතිඵල

2020 ජනවාරි 27වෙනිදා චීන ජාතික සංචාරක කාන්තාවක් මගින් නිර්නාමික නව වෛරසයක් ශ්‍රී ලංකාවට ඇතුල් විය. සති 8ක් ඇතුළත මෙම වෛරසයට Covid-19 නම ලැබුණ අතර එම ආසාදනය ශ්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලයන් අතර ව්‍යාප්ත වීමට පටන්ගත්තේය. පසුව එය මැඩපැවැත්වීමේ පියවරක් ලෙස 2020 මාර්තු 20වෙනිදා සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ බව
අප කොයිකවුරුත් දන්නා කරුණක්ය. එමෙන්ම පැනවූ තහංචි මධ්‍යයේ නිවසේ සිට රැකියාවේ නිරත වන ලෙසද ගෙවතු වගාවේ යෙදෙන ලෙසද ශ්‍රී ලාංකිකයන්ට උනන්දු කරන ලදි. ඇඳිරි නීති බලපත්‍රයක් මත අතවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක විය. නමුත් මෙම කාලසීමාව තුළ මහජනතාව දැඩි අසීරුතාවලටද මුහුණ පාන ලදි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලය අතරතුර අප්‍රියෙල් 12 සිට 20 දක්වා කාලසීමාව තුළ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ ප්‍රවාහන සහ සංවිධාන කළමනාකරණ දෙපාර්තුමේන්තුව මගින් සමීක්ෂණයක් සිදු කර තිබේ. එහි අරමුණ වී තිබෙන්නේ ඉහත කී පියවරයන් මගින් මහජනතාවට සිදු වූ බලපෑම සහ අනාගතය පිළිබඳව ඔවුන්ගේ හැඟීම් තේරුම්ගැනීමටය. ඔන්ලයින් සහ ඊමේල් මාධ්‍යයෙන් පැවැත්වුණ මෙම සමීක්ෂණය සඳහා ශ්‍රී ලාංකිකයන් 1100කට වැඩිදෙනෙක් සහභාගි වී තිබේ. පහතින් දැක්වෙන්නේ එම සමීක්ෂණයේ සොයාගැනීම් 12ක්ය.


1. නිවසේ සිට රැකියාවේ නිරත වීම
සොයාගත් පරිදි නව කොරෝනා වෛරස් වසංගතයට පෙර නිවසේ සිට රැකියාවේ නිරත වීමට ආයතන ප්‍රධානීන් විසින් අවසර ලැබුණේ 21%කට පමණය. නමුත් ඇඳිරි නීතිය අතරතුර මෙම අගය දෙගුණ වී 46%ක් බවට පත් වී තිබේ. මොවුන්ගෙන් 35%ක් සතියේ දින 5ම හෝ ඊට වැඩියෙන් රැකියාවේ නිරත වී තිබෙන අතර එය පෙරට වඩා 8%ක වැඩි වීමක්ය. නමුත් දින 5කට වඩා අඩු කාලයක් රැකියාවේ නිරත වූ අතොළොස්සක්ද වේ. ඇතැමුන් නිවසේ සිට සම්පූර්ණයෙන්ම රැකියාවේ නිරත වන අතරේ තවත් පිරිස් කොහෙත්ම රැකියාවේ නිරත වී නොමැති බව පෙනී යයි.

2. නිවැසියන්ට සිදු වූ සමස්ත බලපෑම
බොහෝ නිවැසියන් සඳහන් කළේ ඔවුන්ට ගමනාගමනය දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වූ බවය. නිවැසියන්ගෙන් වැඩිදෙනෙක් පැවසුවේ සාමාන්‍යට වඩා 80%ක බලපෑමක් තමන්ට සිදු වූ බවය. අනෙක් අතට නිවසේ ආදායම සමාන ලෙස නිවැසියන් අතර බෙදී ගොස් ඇති අතර අතවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමේදී උග්‍ර අසීරුතාවලට මුහුණ දුන් බව වාර්තා නොවන අතර වාර්තා වන්නේ බොහෝදෙනෙකුට මධ්‍යම සිට ඉහළ මට්ටම් අතර බලපෑමක් සිදු වූ බවය.
3. වැඩිම බලපෑමක් සිදු වූයේ අවිධිමත් රැකියාවල නිරත වන්නන්ට
අදායමට සිදු වූ බලපෑම සහ අවිධිමත් රැකියාවල නිරත වීම අතර සහසම්බන්ධයක් තිබෙන බව දත්ත පෙන්වා දෙයි. ආදායම් විරහිත වීම සහ අතවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමේදී දරුණුතම බලපෑම සිදු වී තිබෙන්නේ අවිධිමත් රැකියා සේවකයන්ටය. වැඩ නොමැති වීම, ඔන්ලයින් සේවාවන් ලබාගැනීමේ දුෂ්කරතා වැනි තවත් හේතු අවිධිමත් සහ තාවකාලික රැකියාවල නිරත වන්නන්ට විශාල බලපෑමක් එල්ල වීමට හේතු වී තිබේ.

4. ලබාගැනීමට වඩාත් අපහසු වූ දේවල් මොනවාද?
කොරෝනා කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීම පිළිබඳව සලකා බලන කල නිවැසියන්ගෙන් 3න් 2ක්ම දුෂ්කරතාවලට මුහුණ දී තිබේ. මේ අතරින් ඉහළ දුෂ්කරතාවකට මුහුණ දී තිබෙන්නේ ඉක්මනින් නරක් වන ආහාර (58%), වියළි ආහාර (59%), ප්‍රෝටීන (64%), ඖෂධමය නිෂ්පාදන (65%), බැංකු සේවා (68%), සෞඛ්‍ය සේවා (69%) සහ නිවාස අලුත්වැඩියා සේවාවන් (75%) ලබාගැනීමේදීය.

5. ඔන්ලයින් සේවාවන්
ඒ වන විටත් තිබූ සෞඛ්‍ය සේවාවන්වල සහ බැංකු අංශයේ ති‍බෙන පහසුකම් යොදාගනිමින් ඔන්ලයින් සේවාවන් ලබාගන්නා පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. නමුත් ඔන්ලයින් සේවාවන් භාවිතය පෙරට වඩා දෙගුණයකින් හෝ තුන්ගුණයකින් වැනි විශාල ඉහළ යෑමක් දක්නට ලැබුණේ වියළි ආහාර, ඉක්මනින් නරක් වන ආහර සහ ඖෂධ මිල දී ගැනීමේදීය.

6. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම
ඉක්මනින් නරක් වන ආහාර සහ ප්‍රෝටීනමය ආහාර වැඩි වශයෙන් මිල දී ගෙන තිබෙන්නේ වීදි වෙළෙන්දන්ගෙන් බවත් අනෙකුත් සියලුම අයිතම මිල දී ගැනීම සඳහා වෙළඳසැල් වෙත ගමන් කර ඇති බවත් පෙන්වා දේ.

7. තොග තබාගැනීම
සාමාන්‍යයක් ලෙස Covid-19ට පෙර බොහෝ පුද්ගලයන් ඉක්මනින් නරක් වනසුළු ආහාර සහ ප්‍රෝටීනමය ආහාර දින 3-4ක් සඳහා රැස් කර තබාගන්නා අයුරු දක්නට ලැබීය. අගුළු දැමීම අතරතුර මෙම අගය දින 4-5 දක්වා ඉහළ ගොස් තිබේ. වියළි ආහාර නම් අගුළු දැමීමට පෙර දින 8ක් සඳහා රැස් කර තබාගෙන ඇති අතර අගුළු දැමීමෙන් පසුව දින 14ක් සඳහා තබාගෙන තිබේ. ඖෂධ මුලින් දින 13ක් සඳහාද අගුළු දැමීමෙන් පසුව දින 19ක් දක්වාද තබාගෙන ඇතිය.

8. රැකියාව සඳහා ගමන් කිරීම
තහංචි සහ ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව මුල් මාසය තුළදී රැකියාව සඳහා ගමන් කිරීමේ අවශ්‍යතා වෙනස් වනු ඇති බව මෙම සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලයන් එකඟ වී හෝ තරයේ එකඟ වී තිබුණද අවුරුද්දකින් පසුව රැකියාව සඳහා ගමන් කිරීමට යම් බලපෑමක් එල්ල වේදැයි විමසූ විට එම අදහස ඔවුන් ප්‍රතික්ෂේප කර ‍හෝ තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.


9. සමාජමය හේතු සඳහා ගමනාගමනය
තහංචි ලිහිල් කිරීමෙන් පසු පළමු මාසය තුළ යහළුවන් සහ නෑදෑයන් බැලීමට යෑමට බලපෑම් ඇති වේදැයි විමසූ විට සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලයන් එසේ වන බවට විශ්වාස කර තිබෙන අතර අවුරුද්දකින් පසුවත් නෑදෑ හිතවතුන් බැලීමට යෑමේදී බලපෑම් ඇති වේදැයි විමසූ විට ඊට තරයේ එකඟ නොවී තිබේ.

10. පොදු ප්‍රවාහන පහසුකම් භාවිතය
තහංචි ඉවත් කිරීමෙන් මාසයකට පසුවද පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ ගැටලු මතු විය හැකි බවට එකඟ වී ඇති අතර තවත් අවුරුද්දකින් පසුවත් එම තත්ත්වය පවතිනු ඇති බවට එකඟ වී නොමැතිය.

11‍. කුලී රථ සහ ත්‍රීරෝද රථ භාවිතය
පොදු ප්‍රවාහන පහසුකම් භාවිතයේදී මතු වන තත්ත්වයම මෙයටත් අදාළ බව පැවසේ.
12. ඔන්ලයින් ගනුදෙනු
ඇඳිරි නීතිය ලිහිල් කර මාසයකට පසුවත් පුද්ගලයන් ඔන්ලයින් ගනුදෙනුවල යෙදේවිද කියා පැවසීමට එතරම් සාක්ෂි නොතිබෙන අතර අවුරුද්දකින් පසුව සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඒවා භාවිතයේ වැඩි වීමක් සිදු වේ යැයි සිතීම අපහසුය.
(“ඩේලි නිව්ස්” ඇසුරිනි)
එස්. දහනායක