ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා  13 වනදා බත්තරමුල්ල මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ කියා තිබේ.



වසංගතය මැඩපැවැත්වීමේ මූලික කාර්යභාරය අත්හැර අනියත විශ්වාසයක් සමාජය තුළ නිර්මාණය කරන්න ආණ්ඩුව ක්‍රියා කළා. මැතිවරණය ඉක්මනින් පවත්වා ගැනීමේ වුවමනාවෙන් ආණ්ඩුව දිගටම ක්‍රියා කළා. කල් දැමූ මැතිවරණය අගෝස්තු මාසේ 05වැනිදාට කොමිසම විසින් දින නියම කළාට පසු මැතිවරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාමේ නිර්ණායක පද්ධතියක් දේශපාලන ව්‍යාපාරවලට ලබා දුන්නා. රැස්වීමකට සහභාගි විය යුතු සංඛ්‍යාව, ඒ සම්න්ධයෙන් ආසන පැනවිය යුතු ආකාරය, සහභාගී වන්නන්ගේ දත්ත රැස් කිරීම වගේ
කොන්දේසි ගණනාවක් තිබුණා. නමුත් මැතිවරණ පනත අනුව කොමිසමට නීති පැනවීමේ බලයක් නැහැ. මේ නිසා නිරෝධායන පනත අනුව නීති පැනවීමේ බලය තිබෙන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් තුමා මගින් මැතිවරණ ව්‍යාපාරයේ සීමාකම් සඳහා අවශ්‍ය වන රෙගුලාසි නීතියක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කළේ නැහැ. මෙය සෞඛ්‍ය අංශයේ මගහැරීමක් නොවෙයි. දේශපාලන අංශය විසින් හිතාමතාම අත්හැරීමක්. ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය සකස් කර තිබෙන්නේ සංදර්ශනයක ආකාරයටයි. රැස්වීමේදී ඉදිරිපත් වන කරුණු වෙනුවට මේ සංදර්ශනය සඳහා වැඩිම කාල වේලාවක් යොදවනවා. සෞඛ්‍ය රෙගුලාසි ගැසට් කළා නම් ආණ්ඩුවට විශාල බාධාවක් ඇතිවෙනවා. ඒ නිසා හිතා මතාම එම ගැසට් කිරීම අත්හැර දැමූ බව පැහැදිලියි.

මැතිවරණ ව්‍යාපාරය සඳහා තමන්ගේ ඡායාරූපයවත් භාවිතා නොකරන්නැයි කියූ ජනාධිපතිවරයා ජනහමු නොව කැන්වසිං ව්‍යාපාරවල යෙදෙන සංදර්ශනාත්මක තත්වය රූපවාහිනියෙන් අපි දැක්කා. ජනාධිපතිවරයා ජනතාව සමඟ මීටරයක දුරින් ඉන්නවා. හැබැයි ජනතාව සෙන්ටිමීරයට පැක් කරලා. එතැනිදිත් පෙන්නුම් කළේ නායකයන් උපරිමයෙන් ආරක්‍ෂා වී සාමාජිකයන්ට කවරක් වූවත් කම් නැතැයි කියන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්‍ෂණාගාර තුළින් වෛරස් ආසාධනය සිදුවී ඇති බවට ලබා දී තිබූ තීරණ බැහැර කරමින් ඔවුන් පරීක්‍ෂණ ක්‍රියාවලියෙන් ඉවත් වී ඇති බව මාධ්‍ය වාර්තාකර තිබුණා. මෙයින් කියැවෙන්නේ රට තුළ සාමාන්‍ය තත්වයක් තිබෙන බව බලහත්කාරයෙන් ඒත්තු ගැන්වීමේ උවමනාවක් ආණ්ඩුවට තිබෙන බවයි. ඒ ඡන්දය සඳහායි. රැස්වීම්වල සීමාකම් පිළිබඳ නිර්ණායකයන් ඉදිරිපත් කර මැතිවරණ කොමිසමටත් එහි සාමාජිකයන්ටත් රාජපක්‍ෂලාගේ බුරා පනින කට්ටිය අවලාද නගන හැටි අපි දැක්කා. ප්‍රධාන රැස්වීම් අවලංගු කිරීම මැතිවරණ කොමිසමේ කුමන්ත්‍රණයක් බවට චෝදනාවක් තිබෙනවා. ඒනිසා ආණ්ඩුවට සාමාන්‍ය තත්වයක් ඇතිවේ යැයි කියා බොරු මතයක් නිර්මාණය කරන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සියලු ජනතාවන්ට මේ සම්බන්ධයෙන් තිබුණු බිය මුළුමනින්ම අත්හැරන්න පටන් ගත්තා. මේ නිසා කන්දකාඩුවේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය මූලික කරගෙන බරපතළ වෛරස් ව්‍යාප්තියක් ඇතිවී තිබෙනවා.