මැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කළ සෞඛ්‍ය උපදෙස් සහිත ගැසට් පත්‍රය එන්ජිමක් නොමැති බස්රථයක තත්වයට පත්ව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

 සෞඛ්‍ය උපදෙස් අඩංගු ගැසට් නිවේදනයක් නිකුත් කළද එහි සඳහන් නීති ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරියෙකු නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට මෙතෙක් නොහැකි වී තිබෙන බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය උපදෙස්වලට අදාළව නීතියක් හඳුන්වා දුන්නද එම නීති ක්‍රියාත්මක කිරීමට බලධාරියෙකු පත් නොකිරීම මත මෙම නීති මැතිවරණ සමයේදී ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වන බවද ඔහු පවසා සිටියේය.
මේ හරහා රෝග ව්‍යාප්ත වීමට ඉඩකඩසාදාදී තිබෙන බවත්, මෙම නීති ක්‍රියාත්මක කිරීමේ බලධාරියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වුවද අදාළ ගැසට් නිවේදනයේ එය සඳහන් කළ යුතුව තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
එසේකිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බවත්, පොදුවේ වෛද්‍යවරුන් හැර අනෙකුත් වෘත්තීන්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය කුඩම්මාගේ සැලකිල්ලක්
දක්වන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගයට පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, ඒ යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරීයෙන් ඉවත්ව සිටින ක්ෂේත්‍ර ආවරණය කිරීමට වෙනත් කිසිදු ක්ෂේත්‍ර නිලධාරියෙකු යෙදවීමට කටයුතු නොකරන බවත් රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.
මීට අමතරව මහජන සෞඛ්‍ය පක්ෂකවරුන් ඉදිරියේදී ගන්නා තීන්දු තීරණවලට අනුව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ලෙසද වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිර්මට තීරණය කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ